LOADING

Type to search

News

සුනිල් රත්නායක : ඇත්ත කතාව (2) – නීතීඥ අථිල අතාවුද

Share

සුනිල් රත්නායක ඇතුලු තවත් පස්දෙනෙකුට එරෙහිව ගොණු කරන ලද අධි චෝදනා පහත පරිදි වේ :-

1. රවිවර්මන් නැමැත්තාට තර්ජනයක් හානියක් පැමිණවීමේ පොදු අරමුණ සහිතව එක්රැස් වූ නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 140 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකළ බවද

2. රවිවර්මන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද

3. තෛවකුලසිංහම් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද

4. විල්වරාසා ප්‍රදීපන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද

5. සින්නයියා විල්වරාසා යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද

6. නඩේසු ජයචන්ද්‍රන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද

7. කදීරන් ඥානචන්ද්‍රන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද

8. ඥානචන්ද්‍රන් ශාන්තන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද

9. විල්වරාසා ප්‍රසාද් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද

10. මහේෂ්වරන් යන අයට සුළු තුවාල සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වගන්තිය සමග කියවියයුතු දණ්ඩ නීති සංග්‍රහයේ 314 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකළ බවද

11 සිට 18 වැනි අධිචෝදනාව දක්වා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වගන්තිය යටතේ විස්තර කෙරෙන පොදු චේතනාවට යටත්ව ඉහත 2 වැනි අධි චෝදනාවේ සිට 9 වැනි අධි චෝදනාව දක්වා නම් සදහන් පුද්ගලයන්ගේ මරණ සිදුකිරීම සහ 19 වැනි අධි චෝදනාව ඉහත කී පොදු චේතනාව යටතේ ඉහත 10 වැනි අධි චෝදනාවෙන් දක්වා ඇති සුළු තුවාල කිරීමේ වරද කළ බවටද ගොණු කර ඇත්තේය

වරදකරු වීමට ප්‍රධාන වශයෙන් බලපාන ලද්දේ පැමිණිල්ලේ නඩුව සම්පූර්ණයෙන්ම පාහේ රදා පවතින ලද මහේෂ්වරන්ගේ සාක්ෂියෙහි ඇති විශ්වාසනීයත්වය වේ. මහේෂ්වරන්ගේ සාක්ෂියේ විශ්වසනීයත්වය සළකා බැලීමට පෙර මෙම නඩුවේ ඇති අනෙකුත් පරීවේශනීය සාක්ෂි සළකා බලමු. පැවැති අනෙකුත් පරිවේෂණයන් මහේෂ්වරන්ගේ සාක්ෂිය හා ගැලපෙන්නේද එය ශක්තිමත් කරන්නේද යන්න පිළිබදව තීරණය කළ හැක්කේ ඒ අනුවය. එය මහේෂ්වරන්ගේ සාක්ෂිය පිළිගත හැකිද ප්‍රතික්ෂේප කළ යුතු යන්න තීරණය කිරීමේදී තීරණාත්මක වනවා ඇත.

දෙසැම්බර් 19 වැනි දා මහේෂ්වරන් මියිගිය අනෙක් අට දෙනාද සමග මිරුසුවිල් ප්‍රදේශයේ පිහිටි තමන්ගේ නිවෙස් වලට පැමිණියේය යන කරුණ අභියෝගයට ලක්කර නොමැත.

පොන්නදොරෙයි එනම් මහේෂ්වරන්ගේ පියාට අනුව ඔහුගේ පුතා දෙසැම්බර් 19 වැනි දින මිරුසුවිල් වෙත ගොස් ඇති අතර ඔහු ආපසු නොපැමිණීම හේතුවෙන් දෙසැම්බර් 20 වැනිදා උදෑසන ඔහු මහේෂ්වරන් සොයා මිරුසුවිල් වෙත යන අතරමගදී මහේෂ්වරන් හමුවී ඇත. තමාට සහ අනෙක් පුද්ගලයන් අටදෙනාට පෙරදා සැන්දෑවේ සිදුවූයේ කුමක්ද යන්න මහේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ එහිදීය. මෙම ස්ථාවරය මහේෂ්වරන්ගේ මව වන ලෙච්චමී විසින් තහවුරු කර තිබේ.

මහේෂ්වරන්ගේ කතාවේ ස්ථිරසාරබව තහවුරු කිරීම සදහා පැමිණිලිල විසින් පොන්නදුරෙයි සහ ලෙච්චමී යන දෙදෙනාගේම සාක්ෂි මෙහෙයවා ඇති අතර මෙම සාක්ෂිකරුවන් දෙදෙනාට අදාළ සිදුවීම මහේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම වූ වහාම බැවින් එම සාක්ෂි මෙහෙයවීමට සාක්ෂි ආඥා පනතේ 157 වැනි වගන්තිය යටතේ අවසරය ඇත.

මේජර් සිඩ්නි ද සොයිසාගේ සාක්ෂිය

——————————————

200 වසර වන විට යාපනය අර්ධද්වීපයේ යුධ හමුදා පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන ලද්දේ එවකට මේජර් වරයෙකු වූ ද සොයිසාය. මේජර් ද සොයිසාට අනුව මේජර් ජෙනරල් සුනිල් තෙන්නකෝන්ගේ අණ දීම යටතේ මිරුසුවිල් කේන්ද්‍ර කොටගත් විශාල භූමි ප්‍රදේශයක ආරක්ෂාව 55 වන සේනාංකයට පැවරී තිබුණි. තවද 2000 වසරේ අප්‍රේල් මාසයේ අලිමංකඩ යුධ හමුදා කදවුරට එල්ල වූ ප්‍රහාරයත් සමග බටපිරිස් මිරුසුවිල් ප්‍රදේශයට පසුබසින ලද අතර ඉදිරි ආරක්ෂක වළල්ල තිබී ඇත්තේ මෙම නඩුවේ ප්‍රශ්නගත සිදුවීම සිදුවූ හමුදා පාලන ප්‍රදේශයේ සිට මීටර් 700ක් 800ක් පමණ ඉදිරියෙනි. ඔහු තවදුරටත් සදහන් කරන පරිදි ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වීම හේතුවෙන් මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි ජනයා එම ප්‍රදේශ අතහැර ඉවත්ව ගොස් ඇත.

2000 වසරේ දෙසැම්බර් 23 වැනි දින උදෑසන 9ට පමණ මේජර් ද සොයිසාට බ්‍රිගේඩියර් තෝරදෙණිය වෙතින් දුරකථන ඇමතුමක් දෙමින් හමුදාව විසින් සිවිල් පුද්ගලයන් 9 දෙනෙකු සිර භාරයට ගෙන ඇති බවත් ඉන් 8 දෙනෙකු ඝාතනය කර ඇතැයි දැනගන්නට ඇති බවත් දිවි ගලවා ගන්නා ලද සිවිල් පුද්ගලයා සොයාගෙන මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණයක් පවත්වන ලෙසත් උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව මේජර් ද සොයිසා ඇතුළු කණ්ඩායමක් නෙල්ලිඅඩි ප්‍රදේශයේ ඇති මහේෂ්වරන්ගේ නිවස වෙත ගොස් තිබේ.

මහේෂ්වරන්ගේ දෙමාපියන් විසින් නිවසේ ඇතුළු කාමරයක බිම ඉදගෙන සිටි මහේෂ්වරන් වෙත මේජර්වරයාව කැටුව ගොස් ඇති අතර මහේෂ්වරන්ගේ ශරීරයේ ඇති වෙළුම්පටි මේජර්වරයා විසින් නිරීක්ෂණය කර ඇත.

ප්‍රශ්න කිරීමේදී මහේෂ්වරන් අධිකරණයේ සාක්ෂි දෙමින් පවසන ලද කතාව එලෙසින්ම ඔහු ප්‍රකාශ කර තිබේ. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අනෙක් ගැමියන්ගේ සිරුරු ඇතැයි තමා සිතන වැසිකිලි වල පෙන්වා දීමට හැකියාව ඇති බවය. කෙසේ වෙතත් ඊපීඩීපී සංවිධානයේ නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීවරයා ඔවුන් සමග නොපැමිණෙන්නේ නම් හමුදා නිලධාරීන් පමණක් සමග අදාළ ස්ථානයට යාම මහේෂ්වරන් ප්‍රතික්ශේප කර තිබේ. කණ්ඩායම වාහන දෙකකින් ගමන් කොට තවත් කිලෝ මීටර් එකහමාරක දුරක් පාගමනින් ගොස් අදාළ ස්ථානයට ළගාවී ඇත. පළුමවෙන්ම ඔවුන්ට මහේෂ්වරන්ගේ නිවස පෙන්වා ඇත. එමෙන්ම දෙසැම්බර් 19 වැනිදා පේර ගස වෙත යාමට ප්‍රථම ඔවුන් තම පාපැදි ගාල් කරන ලද ස්ථානයද මහේෂ්වරන් විසින් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් ඒ අවස්ථාව වනවිට එහි බයිසිකල් තිබී නැත. ඉන්පසු මහේෂ්වරන් ඔවුන්ව කැදවාගෙන ගොස් ඇත්තේ ඔවුන්ට මුලින්ම හමුදා පුද්ගලයන් හමුවූ පේර ගසට ආසන්න ස්ථානයටය. තමා ඇතුලු කණ්ඩායමේ පිරිසගේ දෑස් බැද තමන්ට පහර දුන් බවත් අනෙක් අය වේදනාවෙන් කෑගසන හඩ තමාට ඇසුණු බවත් මහේෂ්වරන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඉන්පසු මහේෂ්වරන් මේජර්වරයා ඇතුළු පිරිස කැටුව ගොස් ඇත්තේ අනෙක් ගම්වැසියන් අටදෙනාගේ සිරුරු ඇතැයි ඔහු සැකකරන වැසිකිළි වල වෙතය. එම වැසිකිළි වල ආවරණය කොට ඇති කොන්ක්‍රීට් ලෑල්ල අසළට ඔවුන් පැමිණි විට මහේෂ්වරන් දැඩි සේ බියපත් බවක් පළකර තිබේ.

සිදුවීම ගැන මහේෂ්වරන්ගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම ස්ථානයේදී ඔහුගේ ඇස් බැදුම ගැලවුණ බවත් එහිදී ලේ වැනි පැල්ලම් තමන්ට දක්නට ලැබුණු බවත්ය. ඔහුව මරා දමනු ඇතැයි ඇතිවූ බිය හේතුවෙන් ඔහු පැන දුවා ඇත. මේජර් සොයිසාගේ මෙහෙයවීම යටතේ වැසිකිළි වල ආවරණය කර ඇති කොන්ක්‍රීට් ලෑල් ඉවත් කළ විට ඒ තුලින් මියගිය සතෙකුගේ (එළුවෙකුගේ) ශරීර කොටස් හමුවී ඇත. මෙහිදී අනෙක් ගම්වැසියන් අටදෙනාගේද සිරුරු එම වැසිකිළි වල තුල ඇති බවට මහේෂ්වරන් සැක කරන ලද බව මේජර්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

සුනිල් රත්නායකගේ මග පෙන්වීම මත මළ සිරුරු සොයාගැනීම

——————————————–

අදාළ ස්ථානයට මීටර් 50ක් පමණ ඈතින් පිහිටි ගොඩනැගිල්ලක් පරික්ෂා කළ මේජර් සොයිසා 6 වැනි ගජබා රෙජිමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයට අයටත් හමුදා නිලධාරීන් 20ක් පමණ අදාළ ගොඩනැගිල්ලේ රැදී සිටින බව අනාවරණය කරගෙන ඇත.

මේජර්වරයා ප්‍රකාශ කරන ආකරයට ඔහු අදාළ භට පිරිස භාරව සිටි සාජන්ට් රණසිංහ නිලධාරීයා කැදවා ඉහත කී ලේ පැල්ලම් කෙළවර තොණ්ඩුවක් සහිත වයරය සහ මියගිය එළුවෙකුගේ යැයි සැකකළ හැකි ශරීර කොටස් පිළිබදව ප්‍රශ්න කර ඇත. ඒ අනුව අදාළ එළුවා මරාදැමූ නිලධාරීන් කැදවීමට සාජන්ට් රණසිංහට උපදෙස් ලැබී ඇති අතර ඒ අනුව සොල්දාදුවන් දෙදෙනෙකු පෙරට පැමිණ තිබේ.

ඔවුන් වැසිකිළි වලට ආසන්න වත්ම හදිසියේම සාක්ෂිකරුට (මේජර්වරයාට) විලාපයක් අසන්නට ලැබී ඇත. එම විලාපය ඇසුණු දෙස හැරී බැලූ මේජර්වරයාට දැකගන්නට ලැබී ඇත්තේ තම පියා බදාගෙන කෑගසමින් සිටින මහේෂ්වරන්ය. ඉහත සදහන් කළ (එළුවා මරාදැමූ බව කියමින්) පෙරට පැමිණි හමුදා පුද්ගලයන් දෙදෙනාද ඒ අනුව නොසන්සුන්ව බියපත් වන ආකාරය මේජර්වරයා නිරීක්ෂණය කර තිබේ.

භාෂා පරිවර්තක සමග මහේෂ්වරන් වෙන ගමන් කළ මේජර් වරයා ඔහු කෑගැසුවේ මන්දැයි විමසා ඇත. මහේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ එතැනට පැමිණ සිටි සොල්දාදුවන් දෙදෙනා දෙසැම්බර් 19 වැනිදා තමන් රදවාගෙන පහරදීම සිදුකළ පුද්ගලයන් දෙදෙනා බවය. ඒ අනුව මේජර් ද සොයිසා විසින් අදාළ සොල්දාදුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම මේජර් ප්‍රේමලාල් වෙත පවරා ඇති අතර එහිදී එම සොල්දාදුවන් දෙදෙනා කෙතරම් භීතියට පත්වී නොසන්සුව ඇත්තේද යත් බියවීමට කරුණක් නැති බව ඔවුන්ට පැවසීමට පවා මේජර් ප්‍රේමලාල්ට සිදුවී ඇත. මේජර් ද සොයිසා අදාළ සොල්දාදුවන් දෙදෙනාව කෝප්‍රල් රත්නායක (සුනිල් රත්නායක) සහ සාමාන්‍ය සෙබල මහින්ද කුමාරසිංහ වශයෙන් හදුන්වා ඇති අතර විවෘත අධීකරණයේදී සුනිල් රත්නායකව හදුනාගෙන ඇත. මේ අවස්ථාවේදී සොල්දාදුවන් පස්දෙනෙකු කෝප්‍රල් සුනිල් රත්නායක සහ සාමාන්‍ය සෙබල කුමාරසිංහ ඇතුළු සොල්දාදුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේජර් ද සොයිසා සාක්ෂිදෙමින් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සොල්දාදුවන් පස්දෙනා යුධ හමුදා පොලීසියට භාරදීමෙන් පසු නැවතත් දෙසැම්බර් 24 වැනිදා ඔහු මෙම විමර්ශනයට සම්බන්ධ වූ බවයි. සුනිල් රත්නායක විසින් ලබාදෙන ලද ප්‍රකාශය මත පදනම්ව තවත් යුධ හමුදා පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සමග මේජර් ද සොයිසා අදාළ සිදුවීම වූ ප්‍රදේශයට ගොස් ඇත. සුනිල් රත්නායක විසින් පෙන්වා දෙන ලද මාර්ගය ඔස්සේ ඔහු විසින් පෙන්වා දෙන ලද යම් ස්ථානයක් වෙත පදුරු සහිත කැලයක් මැදින් යුධ හමුදා පොලිස් කණ්ඩායම ගමන් කර ඇත.

එහිදී කුඩා කොළ අතු වලින් ආවරණය කරන ලද බුරුල් පස් සහිත ස්ථානයක් මේජර්වරයාට දක්නට ලැබී ඇත. මෙජර්වරයා අදෘල ස්ථානය යුධහමුදා පොලීසියේ ආරක්ෂාව යටතට පත්කර පොලීසියට දන්වා තිබේ. ඒ අනුව කන්කසන්තුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක්ද සමග පැමිණි මහේස්ත්‍රාත්වරයා සුනිල් රත්නායක විසින් පෙන්වා දුන් ස්ථානය හෑරීමට පොලීසියට නියෝග කර ඇත. අදාළ වල තුලින් පුද්ගලයන් අටදෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති අතර ඒවා මෙම නඩුවේ අධි චෝදනා වල ඝාතනය කරනුලැබූ බවට නම් සදහන් පුද්ගලයන්ගේ බවට ඥාතීන් විසින් හදුනාගනු ලැබ තිබේ.

බෙල්ලේ ධමනි වෙන්වී යන පරිදි බෙල්ලේ ඉදිරිපසින් ගැඹුරු කැපුම් තුවාල, කිසිදු වෙඩිතැබීමක් සිදුවී නෑ

——————————————-

චාවාකච්චේරි දිසා විනිසුරු ප්‍රේමශංකර් මහතා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ පොළව හාරා මළ සිරුරු අනාවරණය කරගත් ස්ථානය චූදිත-අභියාචක (සුනිල් රත්නායක) සහ මේජර් සොයිසා විසින් පෙන්වා දෙන ලද බවය.

මෙහිදී 2000 දෙසැම්බර් 20 වැනි දින පේදුරු තුඩුව රෝහලේදී මහේෂ්වරන්ව පරික්ෂා කරන ලද දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය සින්නදුරෙයි කදිරවේලුගේ සාක්ෂිය පිළිබදව අවධානය යොමු කිරීම වැදගත් වේ. වෛද්‍යවරයා ප්‍රකාශ කරන ආකාරයට රෝගියා විසින් පරික්ෂා කරන අවස්ථාවේදී ලබාදුන් කෙටි ඉතිහාසයේ සදහන් වන්නේ 2000 දෙසැම්බර් 20 වැනි දින සවස 4ට පමණ මහේෂ්වරන් හමුදා පුද්ගලයන්ගේ පහරදීමට ලක්වූ බවය.

වෛද්‍ය කදිරවේලුට අනුව ඔහු මහේෂ්වරන්ගේ ඇස් අසළ පපුවේ පිටුපස සහ දෙපාවල තැලීම් තුවාල ගණනාවක් නිරීක්ෂණය කර ඇත. වෛද්‍යවරයාගේ මතය අනුව මහේෂ්වරන්ගේ සිරුරේ ඇති සියළුම තුවාල මොට ආයුධයකින් කළ පහරදීමකට ගැලපෙන අතර ඔහුට එම තුවාල සිදුවී ඇත්තේ වෛද්‍යවරයා විසින් පරික්ෂා කරනු ලැබීමට දවසකට හෝ දෙකකට පෙරය. මහේෂවරන්ගේ සාක්ෂිය වෛද්‍ය ඉතිහාසය තුවාල වල කාලය හා ස්වභාවය සමග සළකා බැලීමේදී ඒ සියල්ල ඔහුගේ සාක්ෂිය සමග ගැලපෙන බව පෙනී යයි. මහේෂ්වරන් දැඩි භීතියකින් සහ නොසන්සුන්තාවයකින් සිටි බව වෛද්‍යවරයා වැඩිදුරටත් නිරීක්ෂණය කර තිබේ. වෛද්‍ය කදිරවේලුට අනුව ඔහු එම ප්‍රදේශයේ එකම වෛද්‍ය වරයා වේ.

එපමණක් නොව පොළව හාරා මළසිරුරු ගොඩගන්නා අවස්ථාවේ වෛද්‍ය කදිරවේලුද එම ස්ථානයේ සිට ඇත. එම මළ සිරුරු මළසිරුරු බහාලන බෑග වල බහා රෝහල් මෘත ශරීරාගාරයට ගෙන ගොස් ඇත. වෛද්‍ය කදිරවේලු විසින් එම මළසිරුරු වලට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ 2000 දෙසැම්බර් 26 දින පවත්වා ඇත. තමා වයස 69ක පුද්ගලයෙකු බවත් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැති දිනයේදී දැඩි වෙහෙසට පත්වූ බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත.

වෛද්‍යවරයා මළ සිරුරු වල බෙල්ලේ ඉදිරිපස අගල් දෙකක් පමණ ගැඹුරට වූ තනි කැපුම් තුවාලයක් නිරීක්ෂණය කර ඇති අතර ඒ අනුව එකී තුවාලය හේතුවෙන් ඇතිවූ කම්පනය සහ අධික රුධිර වහනය මරණයට හේතුව වශයෙන් සදහන් කර ඇත. වෛද්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඉහත කී කැපුම් තුවාලය හේතුවෙන් ගෙල දෙපස ප්‍රධාන ධමදි දෙකම විසන්ධි කර ඇති බැවින් ඒවා අනිවාර්යයෙන්ම මරණය ගෙනදෙන ස්වභාවයේ තුවාල බවය.

නඩුව විමසීමේ අවස්ථාවේදී උගත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා තර්ක කර සිටියේ එම මරණ වලට වගකිවයුතු පුද්ගයලයා හෝ පුද්ගලයන් අදාළ අවස්ථාවේ වටාපිටාවේ අවධානය යොමුවන ආකාරයෙන් ගිනි අවි භාවිත නොකර හඩක් නොනැගෙන පරිදි ඝාතනයන් සිදුකිරීමට ඉතාම ප්‍රවේශම්කාරී සහ උපක්‍රමශීලී වී ඇති බවය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා තවදුරටත් සදහන් කර ඇත්තේ පැවැති යුධමය වාතාවරණය පිළිබදව දනිමින්ම ශබ්දයක් නොනැගෙන පරිදි ඝාතනයන් සිදුකිරීමට ඝාතකයින් ප්‍රවේශම් වී ඇති බවයි.

මහේෂ්වරන්ගේ සාක්ෂියේ විශ්වස්‍යතාවය

———————————

චූදිත අභියාචක (සුනිල් රත්නායක) වෙනුවෙනු පෙනී සිටි උගත් ජනාධිපති නීතිඥවරයාගේ කරුණු දැක්වීම් අනුව මහේෂ්වරන් යනු විශ්වාාසය තැබිය හැකි සාක්ෂිකරුවෙකු වන්නේද යන්න සළකා බැලිය යුතු කරුණකි.

මහාධිකරණ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද විනිසුරුතුමන්ලා කිසිවෙකු මහේෂ්වරන් සාක්ෂි දෙන ලද අවස්ථාවේදී එම නඩුවේ විනිසුරුවරුන් වශයෙන් කටයුතු නොකළ හෙයින් එම විනිසුරුතුමන්ලාට මහේශ්වරන් සාක්ෂි ලබාදුන් විලාසය සහ ලීලාව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් නොලැබුණු බව සත්‍යයකි. කෙසේ වෙතත් එම විනිසුරුතුමන්ලා සාක්ෂිකරුගේ සාක්ෂි දීමේ විලාසය සහ ලීලාව මත පදනම් වී නොමැති අතර අනෙක් අතට චූදිත අභියාචක (සුනිල් රත්නායක) ගේ පාර්ශවයෙන් මහේෂ්වරන් නැවත සාක්ෂියට කැදවන ලෙස ඉල්ලීමක් සිදුවී නොමැත. විත්තියට එය සිදු දිරීමට අයිතිවාසිකම සහ හැකියාව තිබුණි.

මහාධිකරණය විසින් සාක්ෂිකරුවෙකු ලෙස මහේෂ්වරන්ගේ විශ්වස්‍යතාවය පිළිබදව දීර්ඝ ලෙස සළකා බලා ඇති අතර (සාක්ෂි සටහන් වල පිටු අංක 381 සිට 415 දක්වා සහ තීන්දුවේ 19 වැනි පිටුවේ සිට 52 වැනි පිටුව දක්වා) 1වී 1 සිට 1වී 12 දක්වා ලකුණු කරන ලද පරස්පරතාවයන්ද 1 සිට 12 දක්වා අධිකරණයේ අවධානයට යොමු කරන ලද ඌණතාවයන්ද ඔහුගේ සාක්ෂිය ඇගයීමේදී සළකා බලමින් මහේෂ්වරන්ගේ සාක්ෂිය මත ක්‍රියා කිරීම ආරක්ෂා සහිත බවට තීරණය කොට ඇත.

ශ්‍රේෂ්ඨාධීකරණයද ඉහත සදහන් කළ පරස්පරතාවයන් සහ ඌණතාවයන් ප්‍රවේශමෙන් සළකා බැලීමෙන් පසු අදාළ සිදුවීමේ ස්වභාවය එම අවස්ථාවේ මහේෂ්වරන්ගේ මානසික තත්වය යනාදී කරුණු අනුව එකී පරස්පරතාවයන් සහ ඌණතාවයන් නොවැදගත් ලෙස තීරණය කර ඇත. මෙහිදී සිහිතබාගතයුතු කරුණ වන්නේ මහේෂ්වරන් කතා කළ භාෂාව සිංහල නොව දෙමළ බවයි. ඔහු දෙමළ භාෂාවෙන් කියන ලද දෙය එලෙසම සිංහලයට පරිවර්තනය කර ලිවීමේදී කොටස් අඩුවී ඇති බවක් පෙනේ. ප්‍රකාශය ලබාදෙන අවස්ථාවේදී ඔහුගේ කලබලයට පත් මානසික තත්වය වටහා ගැනීම අසීරු නැත. ඔහු ඊපීඩීපී හෝ රතුකුරුස සාමාජිකයන් නොමැතිව හමුදාව සමග අපරාධ ස්ථානයට යාම පවා ප්‍රතික්ශේප කර ඇත. සිද්ධිය වූ අවස්ථාවේදී මහේෂ්වරන් පත්වී සිටි භීතියේ තරම එයින් පෙනී යයි.

සාක්ෂි විශ්ලේෂණය

——————-

මෙය අධිකරණය විසින් ප්‍රධාන වශයෙන් පරිවේශණීය සාක්ෂි මත තීරණය කළ යුතු නඩුවකි. ඒ අනුව සියළුම සාක්ෂි එක පිඩක් කොට ගත්කල ඇතිවන බලපෑම දැන් සළකා බැලිය යුතුය.

දෙසැම්බර් 19 වැනි දින මහේෂ්වරන් මරණයට පත්වූ පුද්ගලයන්ද සමග මිරුසුවිල් ප්‍රදේශයට ගියේය යන කරුණ සාමාන්‍යයෙන් සිදුවන පරිදි ඔහු එදින ආපසු නිවසට නොපැමිණි බව පහර දීම සිදුවූයේ යැයි කියන ස්වභාවයට ගැලපෙන ආකාරයේ තැලීම් තුවාල ඔහුට සිදුවී තිබූ බව අදාළ සිදුවීමට පසුදින එනම් දෙසැම්බර් 20 වැනි දින මහේෂ්වරන් එකී තුවාල වලට ප්‍රතිකාර ලබාගත් බව හමුදා පුද්ගලයෙකුගේ පහරදීමෙන් ඔහුට තුවාල සිදුවූ බව ඔහු වෛද්‍ය වරයාට ප්‍රකාශ කර ඇති බව ඔහු තමා මුහුණදුන් සිදුවීම වසර ගණනාවකට පසු අධිකරණයේ ප්‍රකාශ කළ ආකාරයෙන්ම තමාගේ පියාට සහ මවට නොපමාව ප්‍රකාශ කරන ලද බව යන කරුණු මහේෂ්වරන්ගේ සාක්ෂියේ සත්‍යවාදීභාවය සහ විශ්වස්‍යතාවය පරික්ෂා කිරීමේදී ස්වාධීන සාක්ෂි වලින් තහවුරු වන කරුණු වේ. අනෙක් පැත්තෙන් මහේෂ්වරන්ට චූදිත අභියාචක (සුනිල් රත්නායක) හෝ අනෙක් විත්තිකරු ව්‍යාජ ලෙස චෝදනාවකට හසු කිරීමට අවශ්‍යතාවයක් පැවැති බවට සිතිය හැකි සුළු කරුණක් හෝ ඉදිරිපත් වී නොමැත.

මෙහිදී ඉතාමත් කැපී පෙනෙන කරුණ වන්නේ දෙසැම්බර් 24 වැනිදා අදාළ සිදුවීමට අදාළ ස්ථානයට ගිය අවස්ථාවේදී එම ස්ථානයේ සිටි හමුදා පුද්ගලයන් ගණනාවක් අතරින් තමන්ට දෙසැම්බර් 19 වැනිදා පහරදුන් පුද්ගලයන් දෙදෙනා ලෙස ඒ වන විට චෝදනාවට ලක්වී නොසිටි චූදිත අභියාචක (සුනිල් රත්නායක) සහ සාමාන්‍ය සෙබල කුමාරසිංහ යන දෙදෙනා පෙන්වමින් මහහඩින් කෑගැසීමේදී මහේෂ්වරන් පෙන්වන ලද නිරුත්සාහක වූද ස්වභාවික වූද හැසිරීමය. මෙම සාක්ෂිය චූදිත අභියාචක (සුනිල් රත්නායක) අදාළ ස්ථානයේ සිටි බවට තහවුරු කැරෙන සාක්ෂියක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හදුනාගෙන ඇත. මෙම අවස්ථාවේදී මහේෂ්වරන් විසින් සුනිල් රත්නායක හදුනා ගැනීම පිළිබදව කිසිදු සැකයක් නොමැත්තේය යන කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය අවධානයට යොමු කරයි. එමෙන්ම මේ අවස්ථාවේදී සුනිල් රත්නායක විසින් විත්ති කූඩුවේ සිට සිදුකරන ලද ප්‍රකාශය කෙරෙහිද අවධානය යොමු කළ යුතු වේ. එකී ප්‍රකාශය මගින් දෙසැම්බර් 18 වැනිදා සිට එලුතුමට්ටුවාල් ප්‍රදේශයේ තමා සිටි බවද ඔවුන්ට ලැගුම් ස්ථානයක් නොවූයෙන් බටපිරිස කුඩා කණ්ඩායම් වලට වෙන්වී ප්‍රදේශයේ අත්හැරදමන ලද නිවාස වල රැදී සිටි බවද ඔහු පිළිගනී. ඔහු තවදුරටක් පිළිගන්නේ දෙසැම්බර් 19 වැනිදා ඔවුන්ට රාජකාරියක් පැවරී නොතිබුණු අතර ඔවුන් ලැගුම්ගත් ස්ථානය අවට ප්‍රදේශය පිරිසිදු කිරීම සදහා එදින ගතකරන ලද බවය. චූදිත අභියාචක සුනිල් රත්නායක විසින්ම පිළිගන්නා පරිදි මෙම සිද්ධියට අදාළ ප්‍රදේශයේ ඔහුගේ රැදී සිටීමද ඔවුන්ට එදින නිශ්චිත රාජකාරිය පැවරී නොතිබුණේය යන කරුණද සනාථ වන අතර එකී කරුණු අදාළ සිදුවීමට සම්බන්ධ වීමට ඔවුන්ට අවස්ථාවක් පැවැතියේය යනාදී වශයෙන් සාක්ෂි ආඥා පනතේ 7 වැනි වගන්තිය යටතේ අනුකූල වේ.

මහාධිකරණ විනිසුරුතුමන්ලා සුනිල් රත්නායක විත්ති කූඩුවේ සිට සිදුකරන ලද ප්‍රකාශය (නඩු තීන්දුවේ 229 සිට 232 පිටුව දක්වා) ප්‍රවේශමෙන් විශ්ලේෂණය කර ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කරන ලද පොදුවේ ප්‍රතික්ෂේප කිරීමේ විත්තිවාචකය ප්‍රතික්ෂේප කර ඇත. මෙම තත්වයද ශ්‍රේෂ්ඨාධිකරණය සළකා බලා ඇති අතර විත්ති කූඩුවේ සිදුකරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරුන් ගන්නා ලද තීරණයේ වරදක් නොමැති බවට තීරණය කර ඇත.

සුනිල් රත්නායක වෙනුවෙන් පෙනී සිටින ලද උගත් ජනාධිපති නීතිඥතුමන් මහේෂ්වරන්ගේ සාක්ෂියේ යම් යම් කාරණා කෙරෙහි අවධානය යොමු කරමින් ඔහුගේ සාක්ෂියා පවත්නා දුබලතා හේතුවෙන් මහාධිකරණය මහේෂ්වරන්ගේ සාක්ෂිය විශ්වාස නොකළ යුතුව තිබූ බවට කරුණු දක්වා ඇත.

මහේෂ්වරන් ඔහුව අල්ලාගන්නා ලද පුද්ගලයන්ගෙන් මිදී පලා යාමේදී ඔහුට හමුවූ පළමු පුද්ගලයා මෙම සිදුවීමේදීම මියගිය ප්‍රදීපන් විල්වරාසා යන අගේ බිරිද වූ සෙල්වරාණී නම් තැනැත්තියයි. මහේෂ්වරන් ඇයගෙන් සරමක් ඉල්ලාගත් නමුත් පිරිස මුහුණ දුන් සිදුවීම ඇයට ප්‍රකාශ කොට නැත. පැවති තත්වයන් යටතේ මහේෂ්වරන්ගේ ප්‍රමුඛතාවය අනතුරින් බේරීම වන හෙයිනද් අනෙක් අතින් ගත්කල සෙල්වරාණී මෙම සිදුවම සම්බන්ධයෙන් කලබල කරවීමට අවශ්‍ය නොවූ නිසාද ඇයට සිද්ධිය නොපැවසුවා විය හැකිය. එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම කරුණ මහේෂ්වරන්ගේ සාක්ෂියේ දුබලතාවයක් ලෙස සැළකිය නොහැකි බව තීරණය කර ඇත.

විත්තියේ උගත් ජනාධිපති නීතිඥතුමන් දක්වන ලද තවත් කරුණක් වන්නේ මහේෂ්වරන්ගේ පියා වන පොන්නදුරෙයිට අනුව ඔහුගේ පුතා ඔහුට පවසා ඇත්තේ සමහර අය හමුදාවෙන් කැපුවා යනුවෙනි. මහේෂ්වරන් ඔහුගේ සාක්ෂියේදී කිසිවෙකු හමුදාවෙන් කපනු දුටු බවක් ප්‍රකාශ කර නොමැති හෙයින් පරස්පරතාවයක් ලෙස පෙන්වා දෙන ලදී. පොන්නදුරෙයි සාක්ෂි ලබාදී ඇත්තේ සිදුවීමෙන් වසර ගණනාවකට පසුව වන අතර ඔහු සාක්ෂි දෙන අවස්ථාව වන විට මියගිය සියළුම දෙනා කැපුම් තුවාල වලින් මියගිය බව ඔහු දැන සිටීම ඔහුට යම් බලපෑමක් එල්ල කරන්නට ඇත. එසේ හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණය එම විෂමතාවය නොවැදගත් ලෙස තීරණය කර ඇත.

මහේෂ්වරන්ගේ සාක්ෂි වල පවත්නා දුර්වලතා ගණනාවක් අවධානයට යොමුකළ ජනාධිපති නීතිඥවරයා තර්ක කර සිටියේ සුනිල් රත්නායකට එරෙහි කිසිදු ඍජු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති වීමද මහේෂ්වරන් චූදිතට එරෙහිව අතිශයෝක්තියෙන් යුතුව නිර්මාණය කරන ලද සාක්ෂි ලබාදුන්නා වීමට හැකියාවක් තිබීමද යන කරුණු මත මහේෂ්වරන් පේරගස අසළදී මුලින් අත්අඩංගුවට පත්වී අන් අය ප්‍රශ්න කිරීම සදහා රදවාගෙන සිටියදී පැන දිව්වා වීමට ඉඩ ඇති බවටය. එසේ සිදුවූයේනම් මහේෂ්වරන්ට ඉතා පහසුවෙන් සුනිල් රත්නායක මරණයට පත්වූ අයට පහරදෙනු තමා දුටු බව පැවසීම මගින් ඔවුන් ඍජුවම වගකීමට හසුකිරීමේ හැකියාව තිබුණි. ඔහු එසේ සිදුකර නැත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහේෂ්වරන්ගේ සාක්ෂියේ ඇති දුර්වලතා සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මකව අධ්‍යයනය කිරීමෙන් පසු මහාධිකරණය විසින් මහේෂ්වරන්ගේ සාක්ෂිය විශ්වාසනීය ලෙසට භාරගෙන ඒ මත ක්‍රියා කිරීමට ගන්නා ලද තීරණයේ වරදක් නොමැති බවට තීරණය කර ඇත.

ඉහත දක්වන ලද සියළුම කරුණු මත මහේෂ්වරන්ගේ සාක්ෂිය විශ්වසනීය බවත් ඒ මත පිහිටා කටයුතු කිරීම ආරක්ෂා සහිත බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

සාක්ෂි ආඥා පනතේ 27 වැනි වගන්තිය යටතේ සිදුකරගත් අනාවරණ

——————————————

දැනගැනීම පිණිස –

යම් සැකකරුවෙකු විසින් විමර්ශන නිලධාරියෙකුට ලබාදෙන ලද ප්‍රකාශයක් එකී සැකකරුට විරුද්ධව අධීකරණයේදී සාක්ෂියක් ලෙස යොදාගත නොහැක. එනම් මෙහිදී අපරාධකරු එක්ස් නම් ඔහු විසින් පොලීසියට ලබාදෙන කටඋත්තරය ඔහුට විරුද්ධව සාක්ෂි ලෙස ගෙන ආ නොහැක. නමුත් X විසින් ලබාදෙන ප්‍රකාශයේ සදහන් යම් කොටසක් මගින් විමර්ශනයේදී යම් කරුණක් අනාවරණය කරගන්නා ලද්දේ නම් එසේ අනාවරණය කරගන්නා ලද කරුණට අදාළ චූදිතගේ ප්‍රකාශයේ කොටස සාක්ෂි ආඥා පනතේ 27 වැනි වගන්තිය යටතේ සාක්ෂියක් ලෙස අධිකරණයට ගෙන ආ හැකිය.

උදාහරණයක් ලෙස X විසින් තමා “Yව මරා මිනිය පාලම අසළ කොස්ගස යට දැමූ” බව ප්‍රකාශ කරයි නම් ඒ ප්‍රකාශයේ සදහන් පරිදි පාළම අසළ කොස්ගස යටින් මිනිය සොයාගත්තේ නම් එක්ස් ගේ ප්‍රකාශයේ ඇතුලත් “මිනිය පාලම අසළ කොස්ගස යට” යන කොටස සාක්ෂි ආඥා පනතේ 27 වැනි වගන්තිය යටතේ අනුකූල කරගත හැකිය.

—————————————————–

චූදිත අභියාචක සුනිල් රත්නායක වෙනුවෙන් ඉදිරිපත් වූ තවත් තර්කයක දැක්වුණේ ආරියදාස සහ තවත් අය එදිරිව නීතිපති 2004 2 ශ්‍රීලනීවා 360 හි සදහන් පරිදි අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකු වෙතින් ලබාගන්නා තොරතුරු මත කරුණක් අනාවරණය වන අවස්ථාවකදී එය සාක්ෂි ආඥා පනතේ 27 වැනි වගන්තිය යටතේ මෙම නඩුව සම්බන්ධයෙන් අදාළ කරගත නොහැකි බවය. කවුරුත් දන්නා නීතිය නම් 27 වැනි වගන්තිය යටතේ අනාවරණය වන කරුණකින් ගම්‍ය වන්නේ චූදිතට සොයාගනු ලබන කරුණ හෝ දෙය සම්බන්ධයෙන් දැනුමක් තිබුණේය යන්නයි.

මෙහිදී චූදිත අභියාචක සුනිල් රත්නායක වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ඊටින් සිංඥෝ එදිරිව රැජින 69 නනීවා 353, හීන්බණ්ඩා එදිරිව රැජින 75 නනීවා 54, රණසිංහ එ නීතිපති 2007 (1) එස්එල්ආර් 223 සහ 2008 නොවැම්බර් 11 දිනැතිව තීන්දු කරන ලද විමලරත්න සිල්වා සහ තවත් අයෙක් එදිරිව නීතිපති සීඒ 483/2001 යන නඩු තීන්දු වල ස්ථාවරයන් සමග ශ්‍රේෂ්ඨාධිකරණය එකග වී ඇත.

නඩු විභාගයේදී චූදිත විසින් ලබාදෙන ලද ප්‍රකාශය මත අනාවරණය කරගන්නා ලදුව සාක්ෂි ආඥා පනතේ 27 වැනි වගන්තිය යටතේ ලකුණු කරන ලද සොයාගැනීම් දෙකක් මත පැමිණිල්ල විශ්වාසය තබා කටයුතු කර ඇත. චූදිතගේ ප්‍රකාශය මත අනාවරණය කරගත් මළසිරුරු වලදමා ඇති ස්ථානය හා මරණයට පත්වූ පුද්ගලයන් පදවාගෙන පැමිණි බව කියන බයිසිකල් වලදමා ඇති ස්ථානය එම සොයාගැනීම් දෙකය.

උගත් ජනාධිපති නීතිඥතුමන් තර්ක කරන ලද්දේ ආරියසිංහ සහ තවත් අය එදිරිව නීතිපති නඩුවේ පරිදි සාක්ෂි ආඥා පනතේ 27 වැනි වගන්තිය යටතේ ලබාදෙන ප්‍රකාශයක සාක්ෂිමය වටිනාකමට ලබා දී ඇති පුළුල් කිරීම මෙම නඩුවට අදාළ නොවන බවය. මෙහිදී සළකා බැලෙන වැදගත් කරුණ වන්නේ සුනිල් රත්නායක විසින් අදාළ මළසිරුරු වළලා ඇති ස්ථානය මේජර් සොයිසාටද පෙන්වා ඇති අතර ඒ අනුව එය සාක්ෂි ආඥා පනතේ 8 වැනි වගන්තිය යටතේ ඔහුටම විරුද්ධව පසු හැසිරීම ලෙස අනුකූල වන බවත් ඒ අනුව නඩුවේ ටී 47 ලෙස ලකුණු කර ඇති සාක්ෂි ආඥා පනතේ 27 වැනි වගන්තිය යටතේ වන අනාවරණයට එය අමතර විශ්වාසයක් සම්පාදනය කරන බවත්ය.

මහාධිකරණ නඩු විභාගයේදී චූදිත සුනිල් රත්නායකට එරෙහිව මෙහයවා ඇති සාක්ෂික වල ප්‍රබලතාවය අනුව ගත් කල සාක්ෂි ආඥා පනතේ 27 වැනි වගන්තියට යටතේ අනාවරණය කරගන්නා ල ද කරුණු වල සාක්ෂිමය වටිනාකම සම්බන්ධයෙන් මහාධිකරණය නොමග ගියේ යැයි උපකල්පනය කලද එය චූදිතගේ අයිතිවාසිකම් වලට සැළකියයුතු බලපෑම් එල්ල නොකරන බැවින් ඒ මත මහාධිකරණ නඩු තීන්දුව ආපසු හැරවීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී.

LNW

(මතු සම්බන්ධයි)

සබැඳි පුවත් – සුනිල් රත්නායක : ඇත්ත කතාව (01) – නීතීඥ අථිල අතාවුද

Leave a Comment

Your email address will not be published. Required fields are marked *