LOADING

Type to search

News

අවුරුදු කන්න නැතිකළේ 3 දෙනෙක් විතරද ? උපුල් රෝහණම මාර්තු 17 වෙනිදා කියූ කතාව

Share

සිංහල ජනතාවට අවුරුදු කන්නට නැතිවුණේ අවසන් වරට හමුවූ රෝගීන් තිදෙනෙකු නිසා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙරේදා (10) දිනයේදී දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශක කළ සංවාදයකදී ප්‍රකාශ කර තිබුණු අතර ඊටම පොහොර දමමින් එම වැඩසටහනේ නිවේදක චතුර අල්විස් මහතා මේ ගැන තමන්ට කේන්ති යන බවත් ප්‍රකාශ කර තිබිණි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඉහළ දැනුමක් සහිත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා කළ එම ප්‍රකාශය කිසිදු විද්‍යාත්මක පදනමකින් යුත් එකක් නොවේ. මන්දයත් ලොවපුරා මාස කිහිපයක සිටම ව්‍යාප්ත වුණු, ශ්‍රී ලංකාවට ද 2020 ජනවාරි මාසයේදී පළමු වරට පැමිණි සහ මාර්තු 11 වනදා දෙවැනි වරටත් දිවයිනෙන් රෝගියකු වාර්තා වීමේ සිට මේ දක්වා මාසයක කාලයක් දිවෙන ක්‍රියාදාමයක එක් නිශ්චිත දිනයක තත්වය හුදෙක් රෝගීන් තිදෙනෙකු මත පැටවීම තක්කඩි විහිළුවක් වන බැවිනි.

කෙසේවෙතත් මේ උපුල් රෝහණ මහතාම මාර්තු 17 වනදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ දෑ පිළිබඳව අපි අවධානය යොමු කරන්නෙමු. එහිදී මූලික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඒ මහතා ජනතාව දැනුවත් කළේය.

  1. මාර්තු 05 වනදාට පෙර අවදානම් රටවල සිට පැමිණි පුද්ගලයින් 2,572ක් ඒ වනවිට නිවෙස්වල රඳවාගෙන නිරෝධායනය කරන බව පැවසූ ඒ මහතා මාර්තු 01 සිට 05 වනදා තෙක් එසේ පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන් ගුවන් තොටුපලෙන් තමන්ට තොරතුරු ලබා නොදුන් බවත් ඔවුන්ව හඳුනාගැනීමට සිදුවූයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ මහජනතාව ලබාදුන් තොරතුරු මත පදනම් වෙමින් බවත් පැවසීය. එම රටවලින් පැමිණි අය මීට වැඩි පිරිසක් වුවත් සිටිය හැකි බව පැවසූ ඒ මහතා එය මේ රටේ බලධාරීන්ගේ බරපතළ වරදක් බවත් අවධාරණය කළේය.
  2. මාර්තු 05 වනදාට පසුව ද ගුවන් තොටුපලින් මෙරටට පැමිණි ඇතැම් අය සම්බන්ධයෙන් තොරතුරු ලබාදී නොමැති බවත් එවන් එක් අයකු ආසාදිතයකු වශයෙන් ද පසුව හඳුනාගත් බවත් ඒ මහතා සඳහන් කළේය.
  3. ගුවන් තොටුපලෙන් මෙරටට ඇතුළු වන අය මුලින්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමුවී ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ලබාදී පිටව යායුතු වුවත් එම ක්‍රමවේදයට පිටින් රට තුළට ඇතුළු වූ පුද්ගලයින් ද සිටින බවත් ඔවුන් එසේ ගුවන් තොටුපලින් පිටතට පැමිණියේ කෙසේදැයි තමන් නොදන්නා බවත් ඒ මහතා පැවසීය. එසේම තොරතුරු ලේඛන පුරවා ලබාදුන් නමුත් ඒවා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල වෙත නොලැබුණු අවස්ථා ද ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. එය නිලධාරීන්ගේ ප්‍රශ්නයක් නොව එවන් ක්‍රමවේදයක් බලධාරීන විසින් සකස් නොකිරීමේ ප්‍රශ්නයක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
  4. මෙම රෝගය සම්බන්ධයෙන් මහජනතාව තුළ අනියත බියක් ගොඩනඟා ඇති නිසා ආසාදිතයින්ට සහ වෙන්කර තබාගත් පිරිස්වලට ප්‍රබල තර්ජන එල්ල වෙමින් පවතින බව පැවසූ ඒ මහතා උදාහරණයක් වශයෙන් ඊට දින කිහිපයකට පෙර පුත්තලම් දිස්ත්‍රික්කයෙන් උණ රෝහලට යොමුකළ සැකසහිත කාන්තාවකගේ නිවස එදිනම රාත්‍රියේ කඩා ඉවත්කිරීමට ගම්වාසීන් සූදානම් වූ බවත් පැවසීය.
  5. මාර්තු 17 වනදා වනවිටත් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් 1897 නිරෝධායන පනත යටතේ අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කර නොමැති බවත් ගුවන් තොටුපල සහ වරාය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාවේ නීති නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.
  6. ආසාදිතයකු බවට සැක පුද්ගලයකු දුර බැහැර ප්‍රදේශයකින් අත් අඩංගුවට ගතහොත් ඔහු කොළඹ උණ රෝහල කරා රැගෙන ඒමට සෞඛ්‍යාරක්ෂිත නිසි ක්‍රමවේදයක් නොමැති බවත් රෝගියකු හමුවූ විට පැලැස්තර අලවනවා විනා නිසි ක්‍රමවේදයක් මෙතෙක් සකස් කිරීමක් සිදු නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
  7. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මුහුණු ආවරණ පැළඳීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ කෙසේදැයි ඒ මහතා ප්‍රශ්න කළේය.
  8. සැක සහිත රෝගීන්ට පර්යන්ත රෝහල්වලින් ප්‍රතිකාර නොදී ප්‍රධාන රෝහල් කරා යනලෙස පවසන බවත් ඔවුන් එසේ පොදු ප්‍රවාහන කටයුතු භාවිතා කරමින් යද්දී ඇතිවන අනාරක්ෂිත තත්වය වැළැක්වීමට ක්‍රමයක් ද එතෙක් සකස් වී නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.
  9. අවදානම් කණ්ඩායම් ලියාපදිංචි කිරීම සඳහා පොලිසිවලට කැඳවා තිබුණු බවත් එහි එක් ආසාදිතයකු සිටියේ නම් සියල්ලටම බෝවීමේ අවදානමක් පැවති බවත් පැවසූ ඒ මහතා මෙයත් එක් එක් අයට අවශ්‍ය පරිදි නිවේදන නිකුත් කිරීමක් මිස සම්බන්ධීකරණයක් නොමැති වීමේ ප්‍රතිඵලයක් බවත් පැහැදිලි කළේය.
  10. මාර්තු 16 වනදා වනවිටත් චීන ජාතිකයින් ගුවන් තොටුපලින් මෙරටට ඇතුළු වෙමින් සිටි බව පැවසූ ඒ මහතා ඒ සම්බන්ධ ක්‍රියාමාර්ගය කුමක්දැයි තමන් ද නොදන්නා බව පැවසීය. එසේම ගුවන් තොටුපල මෙතෙක් වසා නොදැමීම ප්‍රශ්නයක් බව පැවසූ ඒ මහතා අවදානමෙන් මිදීම සඳහා ගුවන් තොටුපල වසා දැමීමට වහාම කටයුතු කළයුතු බවත් අවධාරණය කළේය.
  11. නිරෝධායන මධ්‍යස්ථාන ගුවන් තොටුපලට ඉතාම දුරින් ස්ථාපනය කිරීම නිසා සැක සහිත පුද්ගලයින් පැය ගණනාවක් එකම බස් රථවල ගමන් කිරීමෙන් අවදානමක් මතුවන බව පැවසූ ඒ මහතා නිරෝධායන මධ්‍යස්ථාන හැකිතාක් ගුවන් තොටුපලට ළඟින් පිහිටුවීම වඩාත් සුදුසු බවත් පෙන්වා දුන්නේය. කන්දකාඩු මධ්‍යස්ථානයෙන් වාර්තා වන රෝගීන් එවැනි අනතුරකට මුහුණ දුන්නේද යන්න ගැටළුවත් තමන්ට පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.
  12. ඒ වනවිටත් මැතිවරණය කල්දැමීමක් සිදුව නොතිබුණු අතර දේශපාලනඥයින් බලය පවත්වාගැනීම පිළිබඳ පමණක් අවධානය යොමු නොකළ යුතු බවත් මැතිවරණ ව්‍යාපාරයක් තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ, මාර්තු 17 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් උපුල් රෝහණ මහතාම කියූ කරුණුය. එහිදී ඒ මහතා සඳහන් කළේ ඒ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන තිබුණු කරුණු අනුව නිරෝධායනය සිදුකෙරෙන්නේ දින 14ක කාලසීමාවකට බවය. නමුත් පසුකාලීනව දින 21කට පසුත් රෝග ලක්ෂණ පෙන්වූ ආසාදිතයින් හඳුනාගැනීමට ද ලැබිණි.

එහෙයින් මෙතරම් අඩුපාඩු, සම්බන්ධීකරණ දුර්වලතා, බලධාරීන් නිසි මොහොතේ ක්‍රියාත්මක නොවීම්, ජනතාව වගකීම් පැහැර හැරීම්, නිලධාරීන් ක්‍රියාත්මක නොවීම් මැද පවත්වාගෙන ආ කොරෝනා මර්ධන ව්‍යාපාරයක අවසන් වගකීම හුදෙක් අවසානයේ හඳුනාගත් රෝගීන් තිදෙනෙකු පමණක් මත පටවා, ඔවුන් නිසා සිංහලයින්ට අවුරුදු කන්නට නොහැකි වූ බව කීමට තරම් එකම උපුල් රෝහණ මහතා වෙනස් වූයේ කෙසේද යන්න අපට ප්‍රශ්නයකි. මන්දයත් මෙකී අඩුපාඩු පසුව සම්පූර්ණ වුවත් ඒවායෙහි බලපෑම එක් දිනකින් දෙකකින් සතියකින් දෙකකින් ඉවත් නොවුණු බව අපටත් වඩා හොඳින් ඒ මහතා දන්න බැවිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *