LOADING

Type to search

News

නන්දසේනගේ ජයග්‍රහණය සඳහා කළ මෙහෙය අගයා වඳ සැත්කම් නාටකයේ ප්‍රධාන භූමිකාවක් රඟපෑ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂකට වියත්මගෙන් සම්මානයක්

Share

2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් කළ සුවිශේෂී කාර්යභාරය කුරුණෑගල දිස්ත්‍රික් වියත්මග සංවිධානයේ විධායක කමිටුවේ ඇගයීමට ලක්ව ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, පසුගිය සමයේ දිනපතා දිගහැරුණු වඳ සැත්කම් නාටකයේ ප්‍රධාන භූමිකාවක් රඟදැක්වූ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර පවසයි.

ඔහු සිය ෆේස්බුක් පේජයේ ඊට අදාළ ඡායාරූපයක්ද පළ කරමින් මේ බව සඳහන් කර තිබේ.

කෙසේවෙතත් රෝහල් අධ්‍යක්ෂවරයකු මෙන්ම වෛද්‍යවරයකුද වශයෙන් වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා අයත් වන්නේ දේශපාලන අයිතිවාසිකම් අහිමි රාජ්‍ය නිලධාරීන් ගණයටය. ඔවුන්ට මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම හැර වෙනත් කිසිදු දේශපාලන කටයුත්තක යෙදීම තහනම්ය. මේ බව සිහිපත් කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබිණි.

ඒ අනුව පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ වඳ සැත්කම් නාටකයේ ප්‍රධාන භූමිකාවක් රඟදැක්වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර 2019 ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමිසමේ චක්‍රලේඛයට සහ නීතියට පිටින්, එම නීති කඩ කරමින් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇති බව ඔහු විසින්ම පිළිගෙන ඇති බවයි.

අනෙක් අතට සරත් වීරබණ්ඩාර දේශපාලනික කටයුත්තක් වශයෙන් කළේ ද වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධ සිද්ධියේදී අසත්‍ය තොරතුරු ජනගත කරමින් ජාතිවාදය වැපිරීම පමණි. වියත්මග සංවිධානය විසින් එය ඇගයීමට ලක් කරන්නේ නම් ඔවුන් සාෆිගේ සිද්ධියට අදාළව ජාතිවාදය වපුරා එය මැතිවරණ ජයග්‍රහණය උදෙසා භාවිතා කළ බව ද මෙයින්ම ඔවුන් විසින්ම තහවුරු කෙරේ.

රජයේ නිලධාරීන් මැතිවරණ නීති කඩකර, ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ උදම් ඇනීමත් ජනාධිපතිවරයා වෙනුවෙන් සෘජුවම පෙනී සිටින වියත්මග සංවිධානය ඒවා අගය කිරීමත් කොහෙත්ම සුළුවෙන් තැකිය හැකි තත්වයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙය රාජ්‍ය සේවකයෙකුගේ විනය කඩකිරීමක් වන අතර එලෙස විනය කඩකළ පුද්ගලයන්ට සමාජයේ ඉහළ වටිනාකමක් ලබාදීම තුළින් පෙන්නුම් කරන්නේ වත්මන් නන්දසේන රාජපක්ෂ ආණ්ඩුව විනය ආරක්ෂා කරනවා යැයි පුන පුනා පැවසුවද ඔවුන් විනය කඩ කරන්නන් ආරක්ෂා කිරීමකි.

එමෙන්ම මෙය මින් ඉදිරියට රාජ්‍ය සේවකයන්ට නරක ආදර්ශයක් වන අතර එය රාජ්‍ය සේවයේ පිරිහීමට දැවැන්ත ලෙස බලපානු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *