LOADING

Type to search

Science

විද්‍යා පදනමේ සම්මානයෙන් පිදුම් ලද විද්‍යා පර්යේෂණ හතරක් පර්යේෂකයන් විසින් මාධ්‍යයට එළිදක්වයි

Share

බලශක්ති, ඩෙංගු, ශාක දිලීර යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලාංකීය විද්‍යාඥයින් පිරිසක් විසින් සාර්ථකව පර්යේෂණ කරමින් සොයාගන්නා ලද අලුත්ම විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳව තොරතුරු මහජනතාව වෙත මුදා හැරීම පසුගිය 17 වැනි දින ජාතික විද්‍යා පදනමේ ශ්‍රවණාගාරයේ දී සිදු විය. මෙම මාධ්‍ය හමුව සඳහා විද්‍යා පර්යේෂණ සඳහා ජාතික විද්‍යා පදනම විසින් සම්මාන ප්‍රදානය කළ විද්‍යාඥයින් හතර දෙනෙකු ඔවුන්ගේ නව සොයාගැනීම් පිළිබඳ එළිදරව් කිරීමට එක්වී සිටියහ.

මෙම මාධ්‍ය හමුව පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අදහස් දැක්වූ ජාතික විද්‍යා පදනමේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් නසීමා අහමඩ් මහත්මිය ප්‍රකාශ කර සිටියේ මෙරට විද්වතුන් ඔවුන් විසින් සිදු කරන පර්යේෂණ පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර හා දේශීය සඟරාවල කිරීමෙන් පමණක් සෑහීමකට පත්වන බවයි. නමුත්, විද්‍යාඥයින් විසින් සිදු කරනු ලබන පර්යේෂණ සඳහා යොදා ගනු ලබන්නේ මහජන මුදල් බැවින් එම වැදගත් විද්‍යාත්මක සොයා ගැනීම් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා මාධ්‍ය මඟින් දැනුවත් කළ යුතු බවත් ජාතික සංවර්ධනයට එවැනි විශිෂ්ට සොයාගැනීම් දායක කළ යුතු බවත් ඇය ප්‍රකාශ කර සිටියා ය.

මෙම මාධ්‍ය හමුවේ දී ජාතික විද්‍යා පදනමේ මූල්‍යාධාර යටතේ සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණ අතරින් 2017 සහ 2018 වසර සඳහා හොඳම පර්යේෂණ ලෙස සම්මානයට පාත්‍ර වූ විද්‍යාත්මක පර්යේෂණ හතරක් පිළිබඳව මාධ්‍ය දැනුවත් කරන ලදි.

මෙහිදී සම්මානලාභී පර්යේෂණයක් ලෙස එළිදැක්වූ කැඩ්මියම් ටෙලුරයිඩ් (CdTe) තුනීපටල සූර්යකෝෂයෙහි මූලාකෘති නිෂ්පාදන සම්බන්ධ පර්යේෂණය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරන ලද්දේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඩී.එස්. දසනායක මහතා විසිනි.

තවමත් පර්යේෂණාත්මක මට්ටමේ පවතින මෙම සූර්යකෝෂ නිෂ්පාදනය අනෙකුත් සූර්යකෝෂ නිෂ්පාදනයට සාපේක්ෂව වඩාත් ලාභදායී වේ. මෙම සූර්යකෝෂ වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීමට තවදුරටත් පර්යේෂණ සිදු කරමින් සිටින අතර මෙම තාක්ෂණය පිළිබඳව විශ්වවිද්‍යාල සිසුන් හා පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් මෙම පර්යේෂණ කණ්ඩායමට අනුයුක්තව සිටින විද්‍යාඥයින් විසින් සිදුකර ඇති බවද ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ ය.

විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව යටතේ සම්මානලාභී පර්යේෂණයක් වූ විදුලිබල සැපයුම් රැහැන්වල උෂ්ණත්වය මැනීම හරහා එතුළින් ගෙන යා හැකි විදුලි ධාරිතාව ගණනය කළ හැකි නව ක්‍රමයක් පිළිබඳව ආචාර්ය ජේ.බී ඒකනායක මහතා විසින් මාධ්‍ය දැනුවත් කරන ලදි. මෙහිදී විදුලි සම්ප්‍රේෂණ පද්ධතිවල රැහැන් හරහා ගමන් කරන විදුලි ධාරිතාව යම් යම් ප්‍රදේශවල දී හමන සුළඟේ වේගය අනුව වෙනස් වන බව සොයාගෙන ඇත. ඒ අනුව සුළඟේ වේගය තැනින් තැන මැනීම දුෂ්කර වන බැවින් රැහැන්වල උෂ්ණත්වය තැනින් තැන මැනීම මඟින් ඒ හරහා ගමන් කරවිය හැකි උපරිම විදුලි ධාරිතාව ස්වයංක්‍රීයව ගණනය කිරීමේ දෘඩාංග හා මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කිරීමට ඔවුන් සමත් වී ඇත.

තවද, ජෛව තාක්ෂණය යටතේ සම්මානයට පාත්‍ර වූ ඩෙංගු රෝගය සුව කිරීම සඳහා නව ප්‍රතිශක්තීකරණ එන්නතක් නිපදවීමට සුදුසු ප්‍රතිදේහ හඳුනාගෙන ඇති බව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රසාද් ප්‍රේමරත්න මහතා විසින් පැහැදිලි කරන ලදි. එහිදී, ඒ මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් ඩෙංගු වෛරසයේ තිබෙන වර්ණදේහ හතරක ඇති පොදු ප්‍රදේශ තෝරාගෙන ඒ සඳහා මිනිස් ශරීරය තුළ ප්‍රතිදේහ තිබේදැයි සොයා බලන ලද අතර එම අධ්‍යයනයේම ප්‍රතිඵලයක් ලෙස ඩෙංගු වෛරසයේ කොටසක් යොදා ගනිමින් ඔවුන් විසින් ඩෙංගු රෝගය සඳහා ප්‍රතිශක්තීකරණ එන්නතක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බව ප්‍රකාශ කරන ලදි. එම ක්‍රමවේදය යොදා ගනිමින් අනාගතයේ දී වැළඳිය හැකි හඳුනානොගත් උණ රෝග හඳුනාගැනීමට හැකි වෙතැයි පර්යේෂණ කණ්ඩායම විශ්වාසය පල කරති.

තවද පාරිසරික හා ජෛව විවිධත්ව ක්ෂේත්‍ර යටතේ සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවට ආවේණික ශාකවල වාසය කරන ඇතැම් දිලීර විශේෂ මඟින් නිපදවනු ලබන ක්ෂුද්‍රජීවී සංයෝග පිළිබඳව මාධ්‍ය දැනුවත් කරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය දිල්රුක්ෂි විජයරත්න මහත්මිය විසිනි. එහිදී අදාළ පර්යේෂණ කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවට ආවේණික ශාක හයක් ඇතුළු ශාක අටකින් සංයෝග එකසිය දහ අටක් නිස්සාරණය කරන ලදි.

මේ වනවිටත් එම දිලීර අතරින් Mycoleptodiscus දිලීරය විසින් ස්‍රාවය කරනු ලබන Mycoleptpdiscin B සංයෝගය සඳහා ඔවුන්ට පේටන්ට් බලපත්‍රයක් පවා හිමි වී ඇත.

රෝග කාරක සඳහා ප්‍රතිරෝදකයක් ලෙස මෙම නිස්සාරණය කරන ලද දිලීර යොදාගත හැක.

2 Comments

  1. SEO Reseller Program January 30, 2020

    Awesome post! Keep up the great work! 🙂

    Reply
  2. Rohana Sirimanna January 31, 2020

    I need toknow more aboit this cafmium teluride solar panel work because this type of oanels in the market i am uding for my off grid solar systems and street lights

    Reply

Leave a Comment

Your email address will not be published. Required fields are marked *