LOADING

Type to search

News

රෝයල් පාක් සිද්ධියෙන් මියගිය තරුණියගේ නැගණිය මෛත්‍රීට ලියූ පණිවුඩය…

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත,

මගේ සහෝදරියගේ මිනීමරුවා දින තුනක දීර්ඝ නිවාඩුක් පවතිද්දී නිදහස් කිරීමට සටකපට වූවාක් මෙන්ම මගේ ලිපියද කුණුකූඩයට දමන බව මම දනිමි.

දියණියන් දෙදෙනෙකු සිටින ඔබ මෙවන් මෘගයෙකු සමාජයට නිදහස් කිරීමට ගත් තීරණය මට තේරුම්ගත නොහැකිය

19 හැවරදි මගේ සොයුරියගේ හිස කැබලි 64කට කුඩුවී යනතෙක් හිස පොළවේ ගැසූ මෘගයා එදා රාත්‍රියේ ඇයගේ සිරුරට සිදුකළ සියළු තුවාළ එකක් නෑර මට මතකය. එකක් නෑර පිංතූරයක් ලෙස මට මතකය. මගේ දෙමාපියන්ටත් එය එසේම බැව් මම දනිමි.

එදා රෑ ඇය වින්ද වේදනාව, සිතා ගැනීමට මා අපොහොසත්මි. නමුත් වළලුකර ඇටයද කැඩී තිබියදී තමන්ගේ මිනීමරුවා කෙරෙන් දුවා තම ජීවිතය ගලවා ගන්නට ඇය උත්සහ කළ අයුරු නොසිතෙන මොහොතකඳු ද නැත.

මාගේ වේදනාව තමන්ගේ පවුලේ අයෙක් අහිමිවූ ඔබට වැටහෙන බව මම දනිමි. එමෙන්ම මෙවන් අපරාධයකට ලක්වී මගේ සොයුරිය මරාදැමුණු දුක වටහා ගැනීමට මම ඔබගෙන් ඉල්ලමි. මගේ පියා ශක්තිමත්ව නැගී සිටීමට දරන තැත මම දකිමි. නමුත් ඇතුලතින් ඔහුගේ ආත්මය සුණු විසුණු වී ඇති අයුරු ද මම දනිමි. ඔහු තවමත් නින්දට යන විට ඉකි බිඳිනු මට ඇසේ. මගේ මව තම කුසින් වැදූ සුරතල් දියණියගේ ලෙයින් පෙඟුණු සිරුර දුටු දිනයේ සිට ගත කළ දිවිය ගැන විස්තර නොකරමි.

මිනීමරුවාව නිදහස් කිරීමට සිරිසේන ජනාධිපතිවරයා තීරණය කළ බව සවන් වැකුණු විට මා වෙව්ලීමට ගත්තෙමි. වසර ගණනාවක් පුරා අපායක ජීවත් වූ අපගේ ජීවිත තවත් නරාවලකට ඇද දැමීමට ඔහු එක පෑන් පහරින් සමත් විය. මගේ මාස 04ක දියණිය වෙනුවෙන් මා ශක්තිමත් විය යුතු බව දනිමි. ඇය වෙනුවෙන් මා ජීවත් විය යුතු බව මා දනිමි.

ජනාධිපතිතුමනි,

අවසන් වශයෙන් මම වෙනුවෙන්, මගේ පවුල වෙනුවෙන් සහ මේ පිළිබඳව හඬක් නැගූ සියලු දෙනා වෙනුවෙන් රටේ සියලුම ගැටළු පසෙකලා විශ්‍රාම ගැනීමට නියමිත ඔබ ලහි ලහියේ මෙම ඝාතකයා නිදහස් කිරීමට මැදිහත් වීමට හේතුව දැන ගැනීමට කැමැත්තෙමි.

මීට වඩා ඉතා සුළු වැරදි වලට සිරගත කළ සැබෑ අහිංසකයින් තවමත් සිරගතව සිටියදී, ඔබ නිදහස් කිරීමට තෝරාගත්තේ සැලසුම්සහගතව සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ අයෙක් ය. එසේ කිරීමෙන් ඔබ අපහාසකළේ මනුෂ්‍යත්වයට පමණක් නොවේ ඔබ රටේ අධිකරණ පද්ධතියටත් කළේ ඉතා බරපතළ අපහාසයකි.

ඔබේ කතාවෙන් ඔබ කළ විහිළු සහගත කරුණු දැක්වීම මඟින් ඔබේ හැසිරීම කෙසේවත් සාධාරණීකරණය වන්නේ ද නොමැත. මිනීමරුවා එදා තම සිරුරේ තැවරුණු මගේ සොයුරියගේ ලේ පිහුණුම් තටාකයට බැස සෝදා ගත්තද ඔබ විශ්‍රාම ගන්නේ ඔබේ අත් වල තැවරුණු මගේ සොයුරියගේ ලේ සමඟ බව මම අවසානයේ ඔබට මතක් කර දෙමි.

~සේසත්~

– මිය ගිය ඉවෝන් ගේ සොයුරිය වන කැරොලයින් බ්‍රැඩ්ලිගේ මුහුණුපොතෙන් උපුටාගෙන පරිවර්තනය කර සස්කරණය කරන ලදි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *