LOADING

Type to search

News

ප්‍රේමකීර්තිව ඝාතනය කළේ ජවිපෙ විසින් යැයි ජවිපෙ හතුරන් ජවිපෙට මඩ ගහද්දී ප්‍රෙමකීර්තිගේ බිරිඳ අනුර දිනවීමට එක්වෙයි…

Share

ගුවන්විදුලි නිවේදකයෙකු, ගීත රචකයෙකු මෙන්ම මානවවාදී මාධ්‍යවේදියෙකුද වන ප්‍රේමකීර්ති ද අල්විස් මහතාව ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් යැයි කලාන්තරයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණේ හතුරන් විසින් දිගින් දිගටම මඩ ප්‍රහාර දියත් කරමින් සිටියදී එම මඩ ප්‍රහාර එල්ල කළවුන්ට පැහැදිලි පිළිතුරක් ලබා දෙමින් ප්‍රේමකීර්ති ද අල්විස් මහතානන්ගේ දයාබර බිරිඳ නිර්මලා ද අල්විස් මහත්මිය අද (20) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජන බලවේගයේ ජනාධිපතිධු අපෙක්ෂක අනුර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම සඳහා එක්විය.

ඒ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධු අපෙක්ෂක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගතිශීලී කාන්තා එකමුතුවේ කාත්නා සමුළුව සහ ස්ත්‍රී පඥප්තිය එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමිණි.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතා ජයග්‍රහණය කරවීම සඳහා ගම් දනව් සිසාරා සිටින සියලුම කාන්තාවන්ට ආරාධනා කරන බව ප්‍රේමකීර්ති ද අල්විස් මහතානන්ගේ බිරිඳ නිර්මලා ද අල්විස් මහත්මිය ආරාධනා කර සිටියාය.

ප්‍රේමකීර්ති ද අල්විස් මහතාව ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් නොවේ යැයි තමා කියාසිටියදීත් ජවිපෙ එයින් ප්‍රයෝජන නොගෙන නිහඬව සිටි බවත් එයින් පෙන්නුම් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ තිබෙන විනීත ගුණය බවත් ඇය අවධාරණය කළා ය. මෙම වීනීත, නිහතමානී මිනිසා දිනවීමට ඈත ගම්දනව් සිසාරා තම හඬ රැගෙන යන ලෙසත් නිර්මලා ද අල්විස් මහත්මිය එම සමුළුව අමතමින් පැමිණ සිටි කාන්තාවන්ට ප්‍රකාශ කළා ය.

මෙම අවස්ථාවට කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රභා මනුරත්න මහත්මිය, ආචාර්ය සරෝජා පෝල්රාජ්, ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ බිරිඳ නිර්මලා ද අල්විස් මහත්මිය, නීතීඥ කෞෂල්‍යා ආරියරත්න, රිශාන් හිමාස් මහත්මිය, සුභාෂිණී කමලනාදන් මහත්මිය, කලෙයිචෙල්වි ශෙල්වි මහත්මිය ඇතුළු කාන්තා සංවිධාන ගණනාවක නියෝජිතයින් ඊට එක්වී සිටියහ.

එහිදී වඩිදුරටත් අදහස් දැක්වූ නිර්මලා ද අල්විස් මහත්මිය…

“අද මේ මොහොතෙන් පස්සෙ රටෙන් බාගයක් මට හිනහ වෙයි. ඒ හිනා වෙන්නෙ නොදැනුවත්කම නිසා කියන්නත් එක්කයි මම මේ කතාව කියන්නෙ.

මම කිසිම දේශපාලන කටයුත්තකට මේ වෙනතුරු අත පොවල නැහැ. ඒත් දැන් වියපත් කාන්තාවක් විදිහට මේ රටේ සිදු වුණු දේවල් දිහා මම බලාගෙන හිටියා. ඒ දවස්වල මගේ වසසෙ හිටපු, එහෙම නැත්නම් මට වඩා වැඩිමහල් තරුණයන් මිය යද්දි ඒව මම දැක්ක. ඊට පස්සෙ උතුරේ සහ දකුණේ මව්වරු කඳුළු හෙළනව මම අවුරුදු තිහක් බලාගෙන හිටියා. ඒ දේවල් එක්ක ගත්ත තීරණයක් එක්ක තමයි අද මම මෙතැනට ආවෙ.

ප්‍රේමකීර්තිගෙ ඝාතනය ගැන තියන කතා එක්ක මම මෙතැන ඉන්න එක ගැන හැමෝටම ප‍්‍රශ්නයක් ඇති. ප්‍රේමකීර්තිගෙ ඝාතනය ගැන මම හොයාගෙන ගිහින් ඇත්ත දැන ගත්තට පස්සෙ, මුලින්ම කරපු දේ තමයි මෙතුමන්ලගෙ දේශපාලන පක්ෂයට ඒක කියපු එක. මම එහෙම කළේ කිසිම දේශපාලනයක් ඇතිව හරි, වෙනත් කිසිම අරමුණක් ඇතිව හරි නෙමෙයි. මගේ එකම අරමුණ වුණේ මේක රට දැන ගත යුතුයි, ඉදිරියටත් මේ වගේ දේවල් මේ රටේ වෙන එක නවත්තන්න ඕනෙ කියන එකයි.

ඒත් මට මේ වේදිකාවෙ ඉන්න ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මීට පෙර කිසි දිනක හමු වෙලා නැහැ. ප්‍රේමකීර්ති ඝාතනයේ ඇත්ත මේ අයට කිව්වට පස්සෙවත් කවදාවක් ඔහු මට කිසිම දේකට එන්න කියල කිසිම ආරාධනයක් කරලත් නැහැ. ඒත් ඊට බොහොම කාලෙකට පස්සෙ මම ‘මල්ලියේ’ කියල ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා. මම දකින සමහර කාරණා ගැන කිව්වම ඉතාම සුහදව ඒ දේවල් ගැන කතා කළා. ඊට පස්සෙ මට ඇහෙන සමහර දේවල් ගැන කියන්න, සමහර ප‍්‍රතිපත්ති රටක ක‍්‍රියාත්මක කරන්න පුළුවන්නම් කොයි තරම් හොඳද කියල කියන්න අයෙත් කාලෙකට පස්සෙ කතා කළා. මම එහෙම කතා කරද්දිවත් මෙතුමා මට දේශපාලන වේදිකාවට එන්න කියල නැහැ.

ඊට පස්සෙ ඊයෙත් මම කතා කළා. රටේ තියන ප‍්‍රතිපත්ති වෙනස් වෙන්න ඕනෙ, මේ රටේ දැන් මොනව හරි අලුත් දෙයක් වෙන්න ඕනෙ නේද කියල ඇහුවා. ඒ පාර තමයි ඔහු මට කිව්වෙ, හෙට මේ විදිහෙ කාන්තා වැඩසටහනක් තියෙනවා, පොඩ්ඩක් ඇවිත් බලන්න ඒක කියල. ඒත් මට වේදිකාවට එන්නවත්, කතාවක් කරන්නවත් කියල කිව්වෙ නැහැ. මෙතෙන්ට එනකම් මෙහෙම කතාවක් කරන්න මගේ සූදානමක් තිබුණෙත් නැහැ. ඒත් දැන් ටික වෙලාවකට කලින් මමයි කිව්වෙ. මට කියන්න දෙයක් තියෙනවා, මම ඒක කියන්නද කියල.

දැනට අවුරුදු තිහකට විතර කලින්, ප්‍රේමකීර්තිගෙ ඝාතනයෙන් පස්සෙ විවිධ අය මාව හොයාගෙන ආව. විවිධ වැඩවලට ආරාධනා කළා. ඒ හැමෝටම මම කිව්වෙ සැමියා මිය ගිය එක හේතුවක් කරගෙන දේශපාලනයට එන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ දේ මගෙන් බලාපොරොත්තු වෙන්න එපා කියල. එහෙම හිතපු මට මේ විදිහට ඉදිරිපත් වෙන්න තිබුණු ලොකුම හේතුව තමයි මේ අය තුළ තිබුණු අවංක කම සහ වීනීත කම. මාව කිසි දේකට පාවිච්චි කර ගන්න ඔවුන් හිතුවෙ නැහැ.

අනෙක් කාරණාව තමයි පසුගිය දවස් කිහිපය පුරාම එකින් එක එළි දක්වගෙන ගිය ප‍්‍රතිපත්ති මාලාව. වෙන කිසිම දේශපාලන පක්ෂයක් එහෙම කරන්නෙ නැහැ. නිකම් මේ දේවල් මම ආවම කරනව කියන සරල පොරොන්දු වෙනුවට එකින් එක නිශ්චිතව, ඉලක්ක ඇතුව, පැහැදිළිව වැඩපිළිවෙලක් විදිහට ඉදිරිපත් කරපු ඒ ප‍්‍රතිපත්තිත් මට මේ වේදිකාවට එන්න බලපාපු අනෙක් හේතුව වුණා.

මම නැවතත් කියනවා, මම මෙතන කතා කරපු එක හෙට ඉඳන් මට විරුද්ධව, දේශපාලන වාසි වෙනුවෙන් පාවිච්චි වෙන්න පුළුවන්. ඒ වැරදි මතවලට අහු වෙන්න එපා. ඒ වගේම දැනට ඉන්න වැරදි ආකල්පවල ඉන්න හැම කෙනාටමත් මම ආරාධනා කරනවා, ඒ වැරදි මතවලින් වෙන් වෙලා, රට යන අත ගැන හිතල, ඒ ගමන නිවැරදි පැත්තට ගෙනියන්න එකතු වෙන්න කියන එක මම බොහොම විශ්වාසයෙන් කියනවා.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *