LOADING

Type to search

News

කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙයි : ලලිත් – කුගන් නඩුවෙන් ගෝටා යළිත් පැන යන ලකුණු…

Share

ගෝඨා යළිත් නඩුව මග හරී

දේශපාලන ක්‍රියාකාරිකයන් මෙන්ම ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවෙන් යළිත් මගහැර යෑමට ගෝඨාභය රාජපක්ෂ උත්සාහ ගනිමින් සිටී.

ආරක්ෂක ගැටළුවක්

මෙම නඩුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී ලබන 27 දා යළි කැඳවීමට නියමිත ය. ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් ඇති බව පෙන්වා දී, නඩුව කොළඹට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කිරීම ඒ වෙනුවෙන් සකස් කර ඇති සැලසුම බව හෙළි වේ. එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූ විට ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීම සිදු කෙරේ. එයින් මෙවර නඩු වාරයද මගහැරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂට ලැබේ.

ජුනි 21 උපක්‍රමය

පසුගිය ජුනි 21 දා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට පෙන්වා දී තිබුණේ තම සේවාදායකයා විදෙස්ගතව ප්‍රතිකාර ලබන නිසා අධිකරණයේ පෙනී සිටීමට හැකියාවක් නැති බවයි.

ලලිත් – කුගන් අතුරුදන් නැත

2011 දෙසැම්බර් 09 දා, ලෝක මානව හිමිකම් දිනයට පෙර දිනයේ යාපනය, අච්චුවේලි පොලිස් බල ප්‍රදේශයේදී ලලිත් සහ කුගන් පැහැරගෙන ගොස් තිබිණි. නිර්වේලි ප්‍රදේශයේදී මෙම දෙදෙනා ගමන් ගත යතුරු පැදිය හරස් කර, වෑන් රථයක් සහ යතුරු පැදි දෙකක් නතර කළ බවට සාක්ෂි ඉදිරිපත් වී තිබේ. ඉන්පසු දෙසැම්බර් 15 දා එවකට පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා මාධ්‍යවේදීන්ට පවසා තිබුණේ ලලිත් සහ කුගන් අතුරුදන් වී නැති බවත්, ඔවුන් සිටින බවත් ය. පොලිසිය හෝ ආරක්ෂක හමුදා මගින් ඔවුන් මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරනු ඇති බවද ඔහු සඳහන් කර තිබිණි.

ඔය දෙන්නා ගැන මම දන්නෙවත් නෑ !

මේ සිදුවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සමග ලියුම්කරු කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙසේ පැවසීය.

ප්‍ර : ලලිත්-කුගන් අතුරුදන් කළේ කවුද ?
පි : ඔය ලලිත්-කුගන් කියන දෙන්නා අල්ලගන්නේ මොකටද. ඊට වඩා තර්ජන තිබුණු කී දෙනෙක් හිටියද. ඔය නම් කියපු දෙන්නා ගැන මම දන්නෙවත් නෑ.

ප්‍ර : අඩු තරමේ පත්තරේකින්වත් දැක්කේ නැද්ද, එතකොට රටේ ආරක්ෂාව සම්බන්ධ ලේකම්වරයා ඔබ…?
පි : ඔය සිද්ධි දේශපාලන හේතු මත උඩට ආපු ඒවා. මොන හේතුවක් හින්ද වුණාද කියන්න දන්නේ නෑ. හමුදාවට හෝ බුද්ධි අංශ වලට එහෙම දෙයක් කරන්න තරම් ඔය කියන දෙන්නා තර්ජනයක්ද.

ප්‍ර : ඔවුන්ට තර්ජනයක් නොවුණට, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාරිත්වයට ඔවුන් තර්ජනයක් වුණා … ?
පි : නෑ, ඕක දේශපාලන වාසියට කියන කතාවක්.

ප්‍ර : පුද්ගලයන් දෙන්නෙකුගේ අතුරුදන් වීමක් ඔය තරම් සරල කාරණයක් ද, රටේ ආරක්ෂාව සම්බන්ධ ලේකම් ඒ ගැන දන්නෙත් නැතිලු ..?
පි : මම දන්නවා. ඔය හැමතැනම බිත්ති වල ලියලා තිබුණෙ.

ප්‍ර : ඉතින් ඔය චෝදනා වලට අපි නිවැරදිකරුවො, අපි හොඳ ළමයි කියලා ඔප්පු කළා නම් ඉවරයි නෙ …?
පි : බුද්ධි අංශ වලට එහෙම නිවැරදි බව කියන්න ක්‍රමවේද නෑනෙ. මාධ්‍ය සාකච්ඡා තියන්න බෑනෙ. මේවා ගැන කතා කරන්න ගියොත් ඒ මිනිහට විරුද්ධව විනය පියවර ගන්නවා.

ප්‍ර : ඔබ බුද්ධි අංශෙ නෙමෙයිනෙ, ඔබට පුළුවන්නෙ ඉස්සරහට එන්න …?
පි : ඕනෑම වෙලාවක මම මගෙ නිවැරදිභාවය ඔප්පු කරන්න සූදානම්.

එසේ කී ගෝඨාභය රාජපක්ෂ, දැන් අධිකරණය මග හැර යෑමට විවිධ උපක්‍රම යොදමින් සිටී. ඔහු, ඔහුගේ නිවැරදිභාවය ඔප්පු කිරීමට ඉදිරිපත් වන්නේ නැත.

මූලාශ්‍ර – (ශාලික විමලසේන) – colombotrust.com

2 Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked *