LOADING

Type to search

News

විමල්ගේ කතාවට මහේෂ්ගෙන් උත්තර

Share

“සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති හැටියට සහ CDS හැටියට ඔහු තීරණයක් ගන්නවා දේශපාලනයට යන්න. ඒ තීරණය මට සම්බන්ධයක් නැහැ. එතකොට ඒ වෙලාවේ හිටපු පාලකයින් යම්කිසි විදියකට බියට පත්වෙනවා ඔහුට ශක්තිය වෙන්නේ අපි කියලා. එතකොට අපිව සැක කරනවා. මම විතරක් නෙවේ අපි ඔක්කොම 14 දෙනෙක්. අපි දේශපාලනයක් කළේ නෑ. ඔහුයි දේශපාලනය කළේ. නමුත් ඒ තිබිච්ච සම්බන්ධතාවය අනුව සැක කිරීමක් සහ ඔවුන්ව උසි ගැන්වීමක් කරනවා අනිත් අය. ඊට පස්සේ ඡන්දය අවසානයේ ඔහුව අත්තඩංගුවට ගන්නවා. ඊට පෙර අපි 14 දෙනෙක් එක පෑන් පාරකින් හමුදා සේවයෙන් ඉවත් කළා. ඒ “ඔබගේ සේවය අනවශ්‍යයි” කියලා. එහෙම හමුදා සේවයෙන් ඉවත් කළ පළවෙනි කොටසට මමත් අයිති” යනුවෙන් හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක පවසයි. ඔහු මේ බව පැවසුවේ ඔහුට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙසිනි.

හිටපු හමුදාපති මහෙෂ් සේනානායක ඇමරිකානු රූකඩයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කළේ පසුගිය (22) පැවති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන්ගේ ආණ්ඩු සමයේදී මහේෂ් සේනානායක ඇමරිකාවට පළා ගිය බවත් එම ආණ්ඩුව බිඳ වැටුණු පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණ හමුදාපති වූ බවත් ප්‍රකාශ කළ වීරවංශ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ “සිංහල ඡන්ද තීරු තීරුවලට කඩා දැමීමේ ඇමරිකානු වුවමනාව අනුව” බවයි පැවසීය.

ඇමරිකාව විසින් සිංහල ඡන්ද කොටස්වලට කැඩීම සඳහා මහේෂ් සේනානායකට අමතරව තවත් අපේක්ෂකයින් ද යොදවා ඇති බව පෙන්වා දුන් වීරවංශ එවැනි රූකඩවලට නොරැවටී ගෝඨාභය රාජපක්ෂට ඡන්දය භාවිතා කරන ලෙස ඉල්ලා තිබිණි.

මහින්ද – ගෝඨාභය පාලන සමයේදී තමන්ව හමුදා සේවයෙන් ඉවත් කිරීමට හේතුව අදටත් ප්‍රශ්නයක් බවයි විරවංශ මන්ත්‍රීවරයාට පිළිතුරක් ලෙස මහේෂ් සේනානායක පවසන්නේ.

“ලියුමේ ලියලා තියන එක විතරයි මම දැක්කේ. ඒ ලියුමේ තියෙන්නේ සේවය අනවශ්‍යයි කියලා. ඊට පස්සේ කිසිම පරීක්ෂණයක් කරලා නෑ මේ දක්වා. පරීක්ෂණයක් කරලා විනයානුකුලව කටයුතු කළා නම් මාව හමුදාවට ගන්න බෑනේ ආයේ. 2010 ජනවාරි 10 තමයි මේ ඉවත් කිරීම සිදුවෙන්නේ”

“ඒ කාලයේ මම මගේ ආරක්ෂාව සඳහා නීති උපදෙස් ලබා ගන්නවා. හොඳම උපදෙස ලැබුණේ රටින් එළියේ ඉන්න කියලා. මම හිටියේ ඩුබායි රාජ්‍යයේ. එහෙ ඉන්න හේතුව මගේ සහෝදරයා එහෙ ඉන්න නිසා. එහිදී මම රැකියාවක යෙදෙනවා. ඒ රැකියාව සිවිල් රැකියාවක්. ඒක ඇෆ්ගනිස්ථාන – ඉරාක යුද්ධයට සම්බන්ධයි. නැතුව මේ අමෙරිකානු හමුදාවට සම්බන්ධ රැකියාවක් නෙවෙයි. මම දන්නවා පැහැදිලිවම හමුදාවට සේවය කලාට පස්සේ අවුරුදු 05කට වෙන හමුදාවකට සේවය කරන්න බැහැ”

“ඒ වගේ සරල දෙයක්වත් දන්නේ නැති වෙන කෙනෙක්ද මම? ඒ වෙනකොට ජෙනරාල්වරයෙක්, මිනිස්සු පුදුම වුණා ඒ කළ දේට. මම ඒක දන්නවා. මං එහෙම ඇමරිකානු හමුදාවට සහභාගී වෙලා නැහැ. ඇෆ්ගනිස්ථාන – ඉරාක යුද්ධය සඳහා ගුවනින් සැපයුම් කරන කණ්ඩායමක තමා මං සේවය කළේ. එහෙම තියෙද්දී තමයි 2015 මැතිවරණෙ ඉවර වුනාට පස්සේ මෛත්‍රිපාල ජනාධිපතිතුමා කිව්වේ මගේ සේවය රටට කරන්නෙයි කියලා. ඊට පස්සෙයි මම හමුදාපති වුණේ” යනුවෙන් හිටපු හමුදාපතිවරයා තමන්ට එල්ල වන චෝදනා පිළිබදව පිළිතුරු දී තිබිණි.

විමල් වීරවංශ මහතා මහේෂ් සේනානායක මහතා මෙලෙස විවේචනය කළද ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණ අපේක්ෂකයා ලෙස ඇප මුදල් තැම්පත් කර ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මෙරට හමුදා සේවයෙන් ඉවත්ව ඇමරිකාවට පලා ගොස් සිටි අතර ඔහු එරට පුරවැසිභාවයද ලබා ගන්නා ලදී. පසුව 2005 ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේදී ලංකාවට පැමිණි ඔහු සෘජුවම මහින්ද රාජපක්ෂගේ දේශපාලන කටයුතුවට සම්බන්ධ විය.

ඇමරිකානු පුරවැසිභාවයද ලබා සිටි ගෝඨාභය රක්ෂ මහතාට තවමන් සිය පුරවැසිභාවය පිළිබඳ ගැටළුව හෝ නිරාකරණය කරගැනීමට නොහැකි වූ වාතාවරණයක් තුළ ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස විමල් වීරවංශ විසින් හිස් මුදුනින් පිළි ගන්නා ලදී.

(සිසිර යාපා) – colombotrust.com (සංස්කරණය කරන ලදී)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *