LOADING

Type to search

News

අනුර දිසානායක රටේ ණය ගෙවන හැටි කියයි

Share

රටේ පවතින ණය නැති කිරීමට නම් රටේ ආදායම වැඩි කළ යුතු බවත් ජාතික ආදායම වැඩි කළ හැක්කේ ජාතික නිෂ්පාදන වැඩි කිරීමෙන් බවත් රටේ ජාතික නිෂ්පාදන වැඩි කිරීමේ සැලැස්මක් තමන්ට ඇති බවත් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

ඊයේ (28) රුහණ විශ්වවිද්‍යාලයේ “රවීන්ද්‍රනාත් තාගෝර්” ශාලාවේ පැවති මතාර දිස්ත්‍රික් ජනතා සභාව අමතමින් අනුර දිසානායක මහතා මේ බව අවධාරණය කළ අතර එම් අවස්ථාවට ආචාර්ය, මහාචාර්යවරුන්, වෛද්‍යවරන්, නීතීඥයින්, කලාකරුවන්, දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ.

රටේ ණය අර්බුදය ඇතිවීමට හේතුවත් එම ණය අර්බුදය අවසන් කර රට ණය කන්දෙන් බේරා ගන්නා සැලසුම පැහැදිලි කළ ආකරයත් පහතින් පළ වේ.

“ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. අපිට අවශ්‍ය ප්‍රාග්ධනය නැතිවුණාම ඒ වෙනුවෙන් ණය ගන්නවා. අපිට තාක්ෂණය නැතිවුනාම තාක්ෂණය කැඳවා ගැනීම සඳහා ණය ගන්නවා. ලෝකයේ රාජ්‍යයන් එහෙමයි. එවැනි ණයක් අපිට බර වෙන්න හේතුව තමයි අපි ණයවලින් ඇත්ත වත්කම්හැදුවෙ නැහැ. ව්‍යාපාරිකයෙක් බිල්ඩින් එකක් හදන්න ලක්ෂ 10ක් ණය ගත්තොත් බැංකුවේ මහත්තයා ආපුවහම එයාට පෙන්වන්න පුළුවන් ලක්ෂ 10ය.

මෙන්න අත්තිවාරම, මෙන්න ගොඩනැගිලි, මෙන්න වහලය, මෙන්න ගියපු ගාණ, මෙන්න මහත්තයෝ ලක්ෂ 10. දැන් දැන් මේ පාලකයෝ ට්‍රිලියන 11ක ණයකරුවෝ බවට පත්වෙලා තිබෙනවා. විගණකාධිපතිවරයා කිව්වා ට්‍රිලියන 11 ණය ගත්තට වත්කම් තියෙන්නේ 1.8ක. 9.2ක් අතුරුදහන්. අපි හිතන් හිටියේ අතුරුදහන් වෙන්නේ 10%යි කියලා. මේකේ ඉතුරුවෙලා තියෙන්නේ 10%යි. අතුරුදහන් ගාණ 90%ක් වගේ. එහෙනම් ණය අර්බුදයක් බවට පත්වෙන්න ප්‍රධාන හේතුව තමයි ණයවලින් ඇත්ත වත්කම් හැදුනේ නැති එක.

ඒ වගේම ණයවලින් අවශ්‍ය වත්කම් හැදුනේ නැහැ. දැන් උදාහරණය හැටියට ගත්තොත්, ඕගොල්ලන්ට මතකයි මාතර ඉඳන් ගාල්ලට කිලෝමීටර් 48ක් කෝච්චි පාර අධිවේගී කළා. අධිවේගී කරන්න දුන්නේ ඉන්දියාවේ රයිට්ස් සමාගමට. ඒක මාතර ඉඳන් කොළඹ දක්වාම අධිවේගී කරන්න ඩොලර් මිලියන 150ක් වැය කළා. ඒකෙන් 60ක් වැය කළා ගාල්ලේ ඉඳන් මාතරට. ඩොලර් කෝටි 6ක්. ‍ඩොලර් කෝටි 6ක් කියන්නේ රුපියල් කෝටි 1000කට කිට්ටුවෙන ගාණක්. රුපියල් කෝටි 1000ක් වියදම් කරලා ගාල්ලේ ඉඳන් මාතරට රුහුණු කුමාරි කෝච්චිය එන්න පාර අධිවේගී කළා. අධිවේගී කරන කාලේ දුම්රිය ඇමති ඩලස් අලහප්පෙරුම. අධිවේගී කළාට පස්සේ දුම්රිය ඇමති වෙල්ගම.

අපි දවසක් වෙල්ගමගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මේ පාර අධිවේගී කරන්න කලින් රුහුණුකුමාරි කොච්චියට ගාල්ලේ ඉඳන් මාතරට එන්න කොච්චර වෙලා ගියාද කියලා. වෙල්ගම කිව්වා විනාඩි 42ක් ගියා කියලා. ඊලඟට අපි දෙවෙනි ප්‍රශ්නෙ ඇහුවා අධිවේගී කළාට පස්සේ ගාල්ලේ ඉඳන් මාතරට එන්න රුහුණුකුමාරි කොච්චියට කොච්චර වෙලා ගියාද කියලා. විනාඩි 39යි කිව්වා. විනාඩි 3ක් අඩුවෙලා තියෙනවා කෝටි 1000ට. මූත්‍රා කරන්න වෙලාවක්වත් නෙවෙයි.

මේ ණය බරක් වෙන්නේ නැද්ද.? මේ ණය බරක් බවට පත්වී තිබෙන්නේ අන් කවරක්වත් නිසා නෙවෙයි. ණය බරක් වී තිබෙන්නේ ණයවලින් අපි ඇත්ත වත්කම් හැදුවෙ නැති නිසා ණයවලින් අපි අවශ්‍ය වත්කම් නිර්මාණය කළේ නැහැ. ඒ නිසා තමන් ජනාධිපතිතුමා මේ ළඟදි කියනවා නෙළුම් කුළුණේ කෝටි 200ක් දීපු තැනක් නැහැ කියලා. අපේ හඳුන්නෙත්ති සහෝදරයා පෙන්නුවා සූරියවැව ක්‍රීඩාංගණය ඉදිකිරිමේ වියදම බිලියන 05යි, කෝටි 500යි. හැබැයි ඒක තක්සේරු කරපුවාහම ඒකේ වටිනාකම බිලියන 0.9යි. ඒ කියන්නේ කෝටි 500ක ඉදිකිරිමක් සිදු කරාම ඒ ඉදිරිකිරීම තක්සේරු කරාම තියෙන්නේ කෝටි 90යි. කෝටි කෝටි 410ක් එතන අතුරුදහන් වෙලා. අර්බුදයට පත්වුනේ ඔතනින්. ඒ නිසා මේ අර්බුදයට තියෙන විසඳුම මොකක්ද?

මේ අර්බුදයයට වැළැක්විය නොහැකි විදිහටම යළි ණය ගන්න ඕනා. පළමුවෙන්ම ඒගෝල්ලන් එක්ක සාකච්චා කරලා මේ තියෙන ණය නැවත අපි සමාලෝචනයකට ලක් කරන්න ඕනා. ඒ ණය රී ශෙඩූල් කරන්න පුළුවන්ද බලන්න ඕනා. නැවත අපි ණය ගන්න ඕනා. ඒ ණය අත්‍යාවශ්‍ය තැන් ටිකක් තියෙනවා යොදවන්න. කොතෙන්ටද? නිෂ්පාදනය ගෙන එන්න. අපි හිතනවා අපේ රටේ විශාල කර්මාන්ත පද්ධතියකට අවශ්‍ය වෙන විදිහේ ණය ගන්න ඕනා.

පෘතුගීසි කාරයා ලංකාවට එන්න කලින් අප් රටේ කුරුඳු බිස්නස එක කළේ කවුද? මුස්ලිම් ව්‍යාපාරිකයෝ. එදා මුස්ලිම් ව්‍යාපාරිකයෝ කුරුඳු නැවට පැටෙව්වේ කොහොමද? අද වගේම දරමිටියක් වගේ මිටි ගහලා තමයි ලංකාවෙන් කුරුඳු පැටෙව්වේ. අද අවුරුදු 600කට පසුවත් කුරුඳු යවන්නේ දරමිටියක් වගේ ගැටගහලා. අවුරුදු 600ක් ගියත් මේ පාලකයෝ කුරුඳුවලින් නව අගය එකතු කිරීමේ නිෂ්පාදනයක් කිරීමට අසමත් වෙලා තිබෙනවා. අන්න එතෙන්ට අපි කර්මාන්ත ශාලා ගේනවා, ඒ නිෂ්පාදනයට වැඩි අගයක් එකතු කරනවා.

ඊලඟට, අපිට තිබෙනවා ඉතාමත් හොඳ මිනිරන් සම්පතක්. කහටගහ පතල, බෝ ගහ පතල ඇතුළු පතල් තුනක් තිබෙනවා. ලෝකෙ වැඩිම කාබන් ප්‍රතිශතය තිබෙන මිනිරන් සම්පත අපිට තිබෙනවා. අපි තාමත් කුට්ටි පිටින් පටනවා. අන්න එතෙන්ට අපිට ගේන්න තියෙනවා කර්මාන්ත ශාලාවක්. දැන් දෙන්නේ ටොන් එක ඩොලර් 2000යි. අපිට මේක හරියට හැදුවොත් ගේන්න පුළුවන් කිලෝ එකෙන් ඩොලර් 5000ක් ගේන්න පුළුවන්. ටොන් එකක් කියල කියන්නේ කිලෝ 1000යි. දැන් ටොන් එකක් විකුණන්නේ ඩොලර් 2000ට. හැබැයි අපි හරියටම එතෙන්ට කර්මාන්ත ශාලාවක් ගෙනාවොත් කිලෝ එකක් විකුණන්න පුළුවන් ඩොලර් 5000ට. ඒ සමාගම කෝප් සභාවට ගෙනාවට පස්සෙ ඒ සමාගම කිව්වා මෙතන නිෂ්පාදනයක් තියෙනවා. හැබැයි කෝ කර්මාන්ත ශාලාවක් දාලා. අදත් මහ පොළවේ තිබෙන ඛනිජ සම්පත මොකද කරන්නේ? කුට්ටි පිටින් පටවනවා. අන්න එතෙන්ට අපි ණයක් අරගන්නවා. එතෙන්ට අපි තාක්ෂණයකුත් ගේනවා. එතෙන්ට අලුත් තාක්ෂණයක් ඕනා.

ඊලඟට පුල්මුඩේ ඛනිජවැලි කියන්නේ ඉතාමත් වටිනා ස්වභාවික සම්පතක්. මම දැක්ක සමහර අය පත්තරවල ලියල තිබ්බ මේ පුල්මුඩේ ඛනිජවැලි ඔක්කොම කපල ඉවරකරන්න යනවා කියලා. ඒක ඉවර කරන්න බැරි සම්පතක්. වාර්ෂිකව ටොන් ලක්ෂ 20ක් ගොඩගහනවා. කාලාන්තරයක් තිස්සේ ඉන්දියාවෙන් ආපු කාබනික ද්‍රව්‍ය තැන්පත්වෙලා තැන්පත් වෙලා මේ අවසාධිත කාබන් නිර්මාණය වෙලා, ඒක තමයි අද මේවා ඛනිජවැලි බවට පත්වෙලා තිබෙන්නේ.

අපේ පිහිටීමත් එක්ක ඒ ඔක්කොම ගොඩගහන්නේ පුල්මුඩේට. මා දැක්කා එක වර්තාවක තිබුණා ආසන්න වශයෙන් ගත්තොත් වසරකට මෙට්‍රික්ටොන් ලක්ෂ 20ක් පුල්මුඩේට ඛනිජවැලි ගොඩගහනවා. ඒ 20 අයින් කරගන්න තියෙන්නේ. ඊළඟ අවුරුද්ද වෙද්දි ආයම 20ක් එනවා. අපි මොකද කරන්නේ. අපි ඉතාමත් සරල නිස්සාරණ ක්‍රමයක් තිබෙන්නේ. අපි මූලික ප්‍රභේද 05කට විතරයි නිස්සාරණය කරන්නේ. නිස්සාරණය කරල කන්ටේනර්වලින් අමු වැලි පටවන්නේ. අන්න එතෙන්ට කර්මාන්තශාලාවක් ගෙන්න ඕනා. ඒක ඉතාමත් දියුණු රසායනික කර්මාන්තශාලාවක්. එතන ඉඩත් තියෙනවා. එහෙම වුණොත් දැනට අපි ඛනිජවැලි සංස්ථාවෙන් ලැබෙන ලාභය වගේ සිය ගුණයකටත් වඩා ආදායමක් උපයගන්න පුළුවන් මේ ශ්‍රී ලංකාවට. මම අද සහතික කරලා යන්නම්. එතෙන්ට අපි ණයක් ගන්නවා. එතෙන්ට අපි තාක්ෂණය ගේනවා.

ඊළඟට අපේ පොස්පේට් නිධිය දිගුකාලීන වගාවන් සඳහා උපයෝගීකරගන්න පුළුවන්. අපිට වී වගාව වැනි ඒවට බැහැ. නමුත් අපිට තේ, පොල්, දෙහි, දොඩම්, කුරුඳු වගේ දිගුකාලීන බෝග සඳහා යොදා ගන්න පොහොර සම්පතක් එතන තියෙනවා. අදත් මොකද කරන්නේ අපි? නිකන් හුණුගල් වගේ ගල් ටික කඩල පටවනවා. ඒ වෙනුවට අන්න එතෙන්ට කර්මාන්ත ශාලාවක් ගේන්න පුළුවන්. ඒ නිසා අපි අන්න එතෙන්ට ණය යෝජනා ක්‍රම ගේන්නේ. මේ ජාතික නිෂ්පාදන වැඩි කිරීමේ සැලැස්මක් අපිට තියෙනවා. අන්න ඒ ජාතික නිෂ්පාදන වැඩි කිරීමෙන් තමයි ජාතික ආදායම වැඩි කරන්න පුළුවන්කම තිබෙන්නේ. එතකොට අපිට මේ ණය කන්ද ගෙවල ඉවර කරගන්න පුළුවන්.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *